දන්සලට සඳහා ජේසුර් හා එකතු වුණු බෞද්ධ මිතුරන්
 
බුදුදහමේ උතුම් ප්‍රතිපත්තියක් වන පරිත්‍යාගය හෙවත් දානය -  මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව රටේ සිව්දෙසෙහිම ක්‍රියාත්මක වෙනු පෙනෙන්නේ වෙසක් දා ය. 
 
ඒ ගුණාංගය ආගමක සීමාවන්ට කොටු නොවන බව ලෝකයාට පසක් කර දෙමින්, වෙසක් දන්සලක් සංවිධානය කළ මුසල්මානුවකු අපට හමුවිය. ආදරය සහ සහජීවනය ගැන අර්ථාන්විත පණිවුඩයක් හෙතෙම මේ හරහා ලබාදුන් බව අවිවාදිතය.
 
වෙසක් සමයේ මාර්ග දෙපස විහිදෙන දන්සල් යනු බඩගින්න නිවීමට වඩා හදවත් පුරවාලන තැන්ය. එහිදී බෙදා දෙන්නේ ආහාර හෝ පානීය ද්‍රව්‍ය පමණක් නොව, ආදරය, කරුණාව සහ මනුෂ්‍යත්වයයි. ජාති, ආගම්, කුල, පන්ති භේද අමතක කර මිනිසුන් එකම සෙවණක රැඳෙන දන්සල - ශ්‍රී ලාංකික ජන ජීවිතයේ අපූරු බැඳීමක් කියාපායි.
 
දන්සලක් යනු එක් පුද්ගලයකුගේ උත්සාහයකින් පමණක් ගොඩනැගෙන දෙයක් නොවේ. එය බොහෝ දෙනෙකුගේ ශ්‍රමය, කැපවීම සහ දායකත්වය එක්වන සාමුහික ක්‍රියාවලියකි. වෙසක් සමයේ මෙවැනි පින්කම් සඳහා බෞද්ධයන් පමණක් නොව විවිධ ජාති හා ආගම්වල ජනතාව ද අත්වැල් බැඳගනිති. එහෙත් මුස්ලිම් ජාතික තරුණයෙක් මූලිකත්වය ගෙන, බෞද්ධ හිතවතුන් රැසක් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ දන්සලක් අඛණ්ඩව පවත්වා ගෙන යාම සැබැවින්ම අපූරු සිදුවීමකි. ආගමික සීමාවන් ඉක්මවා මනුෂ්‍යත්වය පෙරටු කරගත් ඔහුගේ මෙම උත්සාහය, සහජීවනයේ ප්‍රබල පණිවිඩයක් සමාජයට රැගෙන එයි.
 
පුවතෙහි හා හමුවීමෙහි කථානායකයා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ජීවත් වන මොහොමඩ් ජෙසූර් ය. පුතුන් දෙදෙනකු ගේ ආදරණීය පියකු වන ඔහුගේ ජීවිකාව ත්‍රීරෝද රථ රියැදුරු වෘත්තියයි. තමන් සතුව ඇති ත්‍රීරෝද රථ දෙක මගින් පවුලේ ආර්ථිකය ගෙන යන ජෙසූර්, දෛනික ජීවිතයේ අභියෝග මැද වුවද මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සැමවිටම උත්සාහ දරන්නෙකි. 
 
ඔහු මහා ධනවතෙක් නොවේ. එහෙත්, ඔහු සතු වූ හදවත ලෝකයේ ලොකුම ධනවතාටත් වඩා පොහොසත්ය. 
 
තමන්ට ඇති නැති දේ ගැන නොසිතා, තමන් අදහන ආගමික රාමුවලට පමණක් කොටු නොවී, බෞද්ධ ජනතාවගේ උතුම් වෙසක් උත්සවය වෙනුවෙන් දන්සලක් දීමට ඔහු පෙළඹුණේ හුදෙක්ම මිනිස්කමට ඇති ආදරය නිසාමය.
 
දිළිඳුකම මිනිසකුගේ මුදල් පසුම්බියට බලපෑ හැකි මුත්, ඔහුගේ මනුෂ්‍යත්වයට බලපෑම් කළ නොහැකි බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත. ජීවිතය ගැටගසාගැනීමම අභියෝගයක් වී ඇති කාලයක, සැබවින්ම වසර පහක් පුරා දන්සලක් සංවිධානය කිරීමට ඔහු පෙලඹී ඇත්තේ ලාභ අපේක්ෂාවෙන් නොව, මිනිසුන් අතර ආදරය සහ සහෝදරත්වය බෙදාහැරීමේ අරමුණිනි.
 
“මම කහවත්ත යායින්න හන්දියේ පොඩි කාලේ ඉඳන්ම ජීවත් වෙනවා. මේ  වටපිටාවේ ඉන්නේ බෞද්ධ අය. නමුත් මම මුස්ලිම් ජාතිකයෙක් වුණත් මට හරි ආදරේ කරන පිරිසක් මේ ගමේ ඉන්නවා. මේ ප්‍රදේශයේ මිනිස්සු මගේ පවුල වගේ. පුංචි කාලේ ඉඳන්ම මම වැඩිපුර ආශ්‍රය කළේ බෞද්ධ යාළුවෝ. අපි එකට සෙල්ලම් කළා, එකට හැදුණා වැඩුණා. අපි අතර කවදාවත් ජාති ආගම් භේද තිබුණේ නැහැ. 
 
 
පුංචි කාලේ වෙසක් කාලෙට යාළුවො එක්ක දන්සල් වදින්න ගියා. වෙසක් සැරසිලි කළා. ඒ මතක අදටත් මට අමතක වෙන්නේ නැහැ. මටත් හිතුණා මට මහා ලොකු ආර්ථික ශක්තියක් නැතත් බෞද්ධ අය එක්කාසු කරගෙන මිනිස්සු වෙනුවෙන් යමක් දෙන්න ඕන කියලා. ඒ නිසාම 2023 වෙසක් පෝය වෙනුවෙන් මේ ප්‍රදේශයේ දන්සලක් සංවිධානය කරන්න ඕනේ කියලා මට හිතුණා. දීමට සිතක් ඇති වීමටත් පිනක් තියෙන්න ඕන. මම ධර්මය ගැන මහා ලොකුවට දන්නේ නැති වුණත් ඒ සිත පහළ වීම නිසා කොහොම හරි මේ දන්සල දෙන්න ඕනම කියලා මගේ හිත වද දුන්නා.” ඒ මොහොමඩ් ජෙසූර් ගේ හඬ ය. 
 
දන්සලක් පැවැත්වීමේ අදහස ජෙසූර් ගේ සිතේ පහළ වූ සැණින් ම ඔහු  ප්‍රථමයෙන්ම කහවත්ත ප්‍රදේශයේ හාඩ්වෙයාර් වෙළෙඳසලක් පවත්වා ගෙන යන නිශාන්ත වික්‍රමසේකරට දුරකථන ඇමතුමක් ලබා ගෙන සිය අදහස පවසා තිබේ. ඊට නිශාන්ත කිසිදු පැකිළීමකින් තොරව එකඟ වී තිබේ . අනතුරුව ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයකු වන සිසිර සේනාතිලක සහ ව්‍යාපාරික කපිල ගමගේ යන සිය සමීප මිතුරන් දෙදෙනාද සම්බන්ධ කරගෙන ඇත. 
 
ජෙසූර්ගේ සිතේ උපන් කුඩා අදහසක් සාමුහික පින්කමක් බවට පත්වීමට මුල් අඩිතාලම වැටුණේ එලෙසිනි.
 
තමන් මුස්ලිම් ජාතිකයකු වුවද, බෞද්ධ මිතුරන් තිදෙනාම කිසිදු පැකිලීමකින් තොරව එම අදහස වැලඳ ගැනීම ජෙසූර් සැලකුවේ ඔහුගේ ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් ලෙසය. එය ඔහුට සහජීවනයේ සැබෑ අරුත නැවතත් දැනෙන්නට සැලසූ අවස්ථාවක් විය.
 
“අපි හතරදෙනා එකතු වෙලා මුණගැහිලා, දන්සලක් දෙන්න හොඳ අදහසක් ගැන කතා කළා. අපි හැමෝම වගේ තමන්ගේ වැඩත් එක්ක කාර්ය බහුලයි. ඒ නිසා ආහාර පිසින දන්සලක් දෙන්න ටිකක් අමාරුයි කියලා අපිට හිතුණා. එහෙම කතා කරද්දි තමයි යෝගට් දන්සලක් දෙන්න තීරණය කළේ. ඉන් පස්සේ අපි හතර දෙනා එකතු වෙලා ඒ දන්සල සාර්ථකව ලබා දුන්නා. 
 
අපේ කාර්යයට කියූ සැණින් බර්ටි ජේම්ස් ව්‍යාපාරික මහතා විශේෂ අනුග්‍රහයක් ලබා දුන්නා. මේ කාර්යය ආරම්භ කරපු දා ඉඳලා අද දක්වාම බර්ටි මහත්මයා අපට සෑම වසරකට ඒ විශේෂ අනුග්‍රහය දක්වනවා.” 
 
එම කාලය වන විට යායින්න හන්දියේ මෙවැනි දන්සලක් හෝ සාමූහික පින්කමක් පැවැත්වී නොතිබිණි. එබවින් ජෙසූර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම යෝගට් දන්සල ප්‍රදේශවාසීන්ට නව අත්දැකීමක් විය. කවදත් ජාති ආගම් භේදයකින් තොරව එකිනෙකා සමග බැඳී සිටින ගමේ ජනතාව මෙම පින්කම ඉතා උණුසුම්ව පිළිගත් අතර, එයට විශාල සහයෝගයක් හා ප්‍රශංසාවක් ද හිමිවිය.
 
මොහොමඩ් ජේසුර්
2023 වසරේදී ප්‍රථම වරට ජෙසූර් ගේ මූලිකත්වයෙන් යායින්න හන්දියේ යෝගට් කප් 12,000ක් බෙදාදෙන දන්සලක් පැවැත්විණි. ප්‍රදේශවාසීන්ගේ විශාල සහයෝගය මධ්‍යයේ එය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, 2025 වසරේ දී ඔවුහු තීරණයවෙනස් කරමින් යෝගට් දන්සල වෙනුවට අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමට තීරණය කළහ. 
 
එයට ප්‍රධාන හේතුව වූයේ භාවිතයෙන් පසු හිස් යෝගට් කෝප්ප පරිසරයට තැනින් තැන වීසිකර දැමීමෙන් ඇතිවූ පාරිසරික ගැටලුවය.
 
ඒ අනුව 2026 වසරේදී අයිස්ක්‍රීම් 20,000ක් පමණ බෙදාදීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එය යායින්න හන්දියේ පමණක් නොව, සමස්ත දන්සල් සංස්කෘතිය තුළද විශාල ප්‍රමාණයක් ලෙස සලකන ලද අතර, මෙම පින්කම වසරින් වසර පුළුල් වෙමින් ජනතා සහභාගීත්වයෙන් ශක්තිමත් වන බවටද සාක්ෂියක් විය.     
 
"මේ පාර අපි අයිස් ක්‍රිම් දන්සල පටන් ගත්තේ උදේ 10.00ට. ඉවර කළේ රාත්‍රී 8.00 ට. ඒ වන තෙක් අඛණ්ඩව දන්සල පැවැත්වුණා. අයිස් ක්‍රිම් දන්සැලක් කියන්නේ පැය තුන හතරෙන් ඉවර වෙනවා. නමුත් අයිස් ක්‍රීම් විසිදාහක් පමණ දවසම දුන්නා.” 
 
ආගම, ජාතිය හෝ භේද ඉක්මවා ගොස් මනුෂ්‍යත්වය තම ජීවන ශෛලිය  කරගත් මොහොමඩ් ජෙසූර් ගේ සමාජ භූමිකාව කදිම ආදර්ශයකි. දන්සලකින් ඇරඹුණු ඔහුගේ සමාජ සේවය අද වන විට ප්‍රදේශයේ යහපත් වෙනස්කම් රැසකට මඟ පෑදූ සමාජ සේවා ව්‍යාපාරයක් බවට පත්ව ඇත. තමන්ගේ ජීවිතයේ බොහෝ අගහිගකම් පැවතියද, සමාජ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාකරන ඔහු, “පින්කම” යන වචනයට නව අරුතක් එක් කරයි. 
 
දිශානි ජයමාලි කරුණාරත්න