IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


රටට උගතුන් බිහිකරන ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

 

 

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1873 වර්ෂයේ දී පිහිටුවා වදාළ මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙණ වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නමින් හැඳින්වෙන විද්‍යොදය විශ්වවිද්‍යාලයට උල්පත විය. 1959 පෙබරවාරි 18 වැනි දින මෙම විශ්වවිද්‍යාලය පිහිටුවන ලද අතර එහි සමාරම්භක විශ්වවිද්‍යාලයාධිපති හෙවත් ප්‍රථම උපකුලපති ලෙස පත්වූයේ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මේ වනවිට විද්‍යොදය පිරිවෙන පිහිටුවා වසර 145කි. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යොදය විශ්වවිද්‍යාලයට වසර 60කි. සිය 60 වර්ෂ පූර්ණය 2019 වර්ෂය පුරා අත්‍යුත්කර්ෂවත් ලෙස සැමරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් කටයුතු සම්පාදනය කොට තිබේ. මෙහි සමාරම්භය සලකුණු කරමින් 2019 පෙබරවාරි 17 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙයි. පසුදින සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 60 වර්ෂ පූර්ණයට අදාළ විශේෂ සමරු උත්සවය පැවැත් වෙන්නේ 2019 ​අප්‍රේල් 02 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දීය.   


මෙම ලිපිය පළ වන්නේ ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වර්ෂ පූර්ණය නිමිත්තෙනි. 


වර්තමාන මනුෂ්‍යයා ස්වකීය ජීවිතයේ එක අංශයකින් ඉතා උසස් තත්ත්වයකට පැමිණ සිටින අතර තවත් අංශයකින් එතරම් දියුණුවකට පැමිණ නැත. මේ දෙකටම ප්‍රධාන හේතුව අධ්‍යාපනයයි. මනුෂ්‍ය වර්ගයේ අනික් සියලුම ක්‍රියා මෙන්ම අධ්‍යාපනය ද සර්ව සම්පූර්ණ එකක් නොවේ. සමහර අංශවලින් අධ්‍යාපනය පුදුම දියුණුවක් ලබා ඇත. මනුෂ්‍යයා දියුණුවී ඇත්තේ අධ්‍යාපනයේ ඒ කොටස නිසාය. මනුෂ්‍ය ජීවිතයේ එක අංශයක් පිරිහීමට පත්වී ඇත්තේ ද අධ්‍යාපනයේ එම අංශය දියුණු වී නැති නිසා යැයි පිළිගත යුතුව ඇත. මේ අංශ දෙක ගැනම හැකිතාක් අපක්ෂපාත භාවයකින් යුක්තව සොයා බැලීමත් ඊට නිසි ප්‍රතිකර්ම යෙදීමත් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ යුතුකමත් වගකීමත් විය යුතුව පවතී. 
භෞතිකය ආධ්‍යාත්මික යයි එකිනෙකට වෙනස්වූ අංශ දෙකකට මනුෂ්‍යා බෙදීමට පුළුවන් කමක් නැත. ආහාර නොමැතිකම ජීවත් වීමට සුදුසු ගෙයක් නොමැතිවීම ආදී භෞතික හේතුවලින් පෙළෙන මිනිසාට ආධ්‍යාත්මික සුවය ගැන සිතන්නට වෙලාවක් නැත. ඔහු දුක් විඳින මිනිසෙකි. එසේම කොතරම් හොඳට ආහාරපනාදිය තිබෙතත් කොතරම් හොඳ ගෙයක ජීවත් වුවත් යමෙකුගේ සිත නොසන්සුන් නම් නොයෙකුත් කරදරවලින් යුක්ත නම් ඒ තැනැත්තා ද දුක් විඳින මිනිසෙකි. අධ්‍යාපනයෙහි පරමාර්ථය විය යුතු වන්නේ ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් සුවපත් වූ මිනිස් සමාජයක් බිහි කරවීමය. එවැනි සමාජයක් බිහි කරවීමට ශක්තිය ඇත්තා වූ සුදුසු ද ආයතනය විශ්වවිද්‍යාලයයි. එහෙත් අභාග්‍යයකට මෙන් වර්තමාන ලෝකයේ කිසිම රටක ඇති විශ්වවිද්‍යාලයකින් එම කාර්යය සතුටුදායක අන්දමකින් කෙරෙන බවට සාක්ෂි නැත. 


විශ්වවිද්‍යාලය වනාහි රටක තිබෙන උසස්ම අධ්‍යාපනික ආයතනයයි. රටක සිටින ඉගෙනීමට ඉතාම දක්ෂ තරුණ පිරිස් සිටින්නේ ද විශ්වවිද්‍යාලයෙහිය. එමෙන්ම නුදුරු අනාගතයෙහිදී රටේ සියලුම වගකිව යුතු තැන් ලැබීමට සිටින්නේ ද අද විශ්වවිද්‍යාලවල ඉගෙනීම ලබන පිරිසය. එහෙත් විශ්වවිද්‍යාලයකින් දෙනු ලබන අධ්‍යාපනය මනුෂ්‍ය ජීවිතයේ එක අංශයක් පමණක් සකස් කරන්නක් නොව පූර්ණ අධ්‍යාපනයක් විය යුතුය. ඉතා උසස් උපාධි ලැබූ එහෙත් වංචනික හෝ කෲර හෝ දුශ්චරිතයෙහි ගැලුණු හෝ උගතුන් දක්නට ලැබෙන්නේ ඒ අය ලත් ඉගෙනීම අසම්පූර්ණ බැවින්ය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ඥාන වර්ධනයට පමණක් සීමා වී චරිත වර්ධනය නොසලකා හැර තිබීම අභාග්‍යයකි. සැබෑ ඉගෙනීමෙන් ඥාන වර්ධනයත් චරිත වර්ධනයත් යන දෙකම එක විටක සිදු වෙනවා ඇත. 


පාලි භාෂාවෙහි තිබෙන ‘සික්ඛා’ (සංස්කෘත ශික්ෂා) යන වචනය ගැන මෙහිදී යමක් කීම අවශ්‍යය. ‘සික්ඛා’ යන වචනයෙහි තේරුම් දෙකක් තිබේ. එයින් එකක් ඉගෙනීමය. අනික හික්මීමය. සික්ඛති යනු ඉගෙන ගනියි. එසේම හික්මෙයි. ඉංග්‍රීසි භාෂාවෙහි ඩිසිප්ලීන් (Discipline) ​යන්න ද මීට බොහෝසෙයින් සමානය. එහිද ඉගෙනීම හික්මීම යන අර්ථ දෙකම තිබේ. 


​ ඉගෙනීමෙන් හික්මීම ඇති වෙනවා නොව ඉගෙනීමම හික්මීම වන්නේය. මෙය සිදු වන්නේ කෙ​ෙස්දැයි දැකීමට ඉගෙනීම ඇතිවන සැටිත් හික්මීම ඇතිවන සැටිත් අප විසින් තේරුම් ගත යුතු වේ. 


ඉගෙනීම යනුවෙන් පොදු ජනයා අදහස් කරන්නේ ඥානවර්ධනය හෙවත් දැනුම වැඩිකර ගැනීමයි. මේ අර්ථයෙන් වන ඉගෙනීමෙහි පළමුවෙනි පියවර යම්කිසි දෙයක් පිළිගැනීමයි. ඒ පිළිගැනීමෙහි අවබෝධයක් නොමැතියි. කුඩා ළමයා තම පරිසරයෙන් වචන අහුලා ගනියි. ඒ වචන ඔහුගේ මොළයෙහි සටහන් වෙයි. මුළු භාෂාවක් ඉගෙනීම සඳහ ඔහුට අත්තිවාරම වන්නේ එසේ ප්‍රඥප්ති වශයෙන් පිළිගෙන තැන්පත් කරගත් ඒ වචන සමූහයයි. 


පසු කලක දී ඔහුට අලුත් වචන ඇසෙයි. එසේ නැත්නම් ඔහු අලුත් වචනක් පොතක දකියි. ඒ අලුත් වචනය ඔහු තේරුම් ගන්නේ එම වචනය තමා කලින් තැන්පත් කරගෙන තිබුණු වචනවලට පරිවර්තනය කර ගැනීමෙන්ය. නොදන්න වචන දැන ගැනීමට අකාරාදියක් හෙවත් ශබ්ද කෝෂයක් පාවිච්චි කරනවා යැයි කියන්නේ මේ ක්‍රියාවලියටය. අන්‍ය භාෂාවක් ඉගෙන ගන්නවා යයි කියන්නේ ද අලුත් අවබෝධයක් ඇතිකර ගන්නවා නොව එකම දෙයට වචන දෙකක් කියන්නට සමර්ථ කමක් ඇතිකර ගැනීමය. එසේම භාෂා පණහක් ඉගෙන ගන්නවා යයි කියන්නේ එකම දෙය පණස් විදියකින් කියන්නට හැකිවීමය. කලින් ඔහු එක්තරා සතෙකු හැඳින්වීමට දැන සිටියේ බළලා යන වචනයෙන් පමණය. දැන් එකට එකක් වෙනස් වචන පණහකින් බළලා හැඳින්වීමට ඔහුට පුළුවන. මෙහිදී ඔහු වචන රැස්කර ගත්තා පමණය. ​මෙහිදී ඔහුගේ ඉගෙනීම දියුණු වූවා මිස අවබෝධයේ වැඩිවීමක්වත් ගුණධර්මයක පහළවීමක්වත් සිදුවූයේ නැත. භාෂාව සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගැනීමෙහි දී සිදු වන්නේ ද මීට සමාන වූවකි. එනම් පිටස්තරයෙහි තිබෙන දේවල් වචනවල ස්වරූපයෙන් හෝ සංකේතවල ස්වරූපයෙන් හෝ තමාගේ මොළයේ තැන්පත් කර ගැනීමකි. එවැනි ඉගෙනීමකින් කෙනෙකු වචන මට්ටමේ උගතෙකු බහුශ්‍රැතයෙකු, විශේෂඥයෙකු වන්නට පුළුවන. එවැනි උගත්කමින් ප්‍රයෝජන නැත්තේ නොවේ. භෞතික යයි සම්මත ජීවිතයට එය බොහෝසෙයින් ප්‍රයෝජනවත් වන්නට පුළුවන. බාහිර ඔපයක් සහ බාහිර සුවිනීත භාවයක් ද එවැනි උගත්කමින් ඇති වන්නට පුළුවන. එහෙත් මනුෂ්‍යයා තුළ දයාව අනුකම්පාව වැනි මිනිස් ගුණ එයින් හට ගන්නේ නැත. එහෙයින් දයාවෙන් තොර වූ ඒ උගතා මනුෂ්‍යයාගේ විනාශය සඳහා ද තම ඥානය යොදවන්නට පුළුවන. අද ලෝකයට උගත්කම නිසා සිදුවී ඇති විපත මෙයයි. 
සික්ඛා යන්නෙන් ප්‍රකාශ වන අනිත් අර්ථය වන හික්මීම ද බොහෝ විට වරදවා තේරුම් ගෙන තිබෙන වචනයකි. භය නිසා ඇතිවන හික්මීම සැබෑ හික්මීම නොවේ. එසේම පෙළඹීමක් නිසා ලාභයක් බලාපොරොත්තුවක් නිසා ඇතිවන හික්මීම ද හික්මීම නොවේ. දෘෂ්ටියක් නිසා ව්‍රතයක් නිසා ඇතිවන හික්මීම ද හික්මීම නොවේ. එවැනි හේතුවක් නිසා ඇතිවන හික්මීම තාවකාලිකය. හේතුව නැතිව ගිය විට ඒ හික්මීම ද නැතිව යන්නේය. සැබෑ හික්මීමෙහි කැඩීමක් බිඳීමක් පලුදුවීමක් නැතිවී යාමක් නැත. එය ඇතිවන්නේ යම්කිසි ක්‍රියාවක් අශෝභන බව අහිතකර බව වැරදි බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමෙන්ය. 


උගත්කම යනුවෙන් අප සාමාන්‍යයෙන් අදහස් කරන්නේ යමක් අසා බලා කියවා ඒ දෙය මතක තබා ගැනීමය. ඒ දෙය ගැන තර්ක කරන්නට විමසා බලන්නට නිශ්චය කරන්නට පුළුවන්කමක් ඇති කර ගැනීමය. කලින් සඳහන් කලාක් මෙන් ඒ ඉගෙනීම කරුණු රැස්කර ගැනීමකි. නිවැරදි දෙය මෙන්ම වැරදි දෙය ද ඒ රැස්කර ගැනීමෙහි ඇතුළත් වන්නට පුළුවන. තවද මතකයෙහි තැන්පත් වුණු දෙයක් හෙයින් ඉගෙන ගත් දෙය නිතරම පරණ ය. 


කරුණු රැස්කර ගැනීමේ අපේක්ෂාවෙන් කෙරෙන මෙම ඉගෙනීමට වඩා වෙනස් වූ තවත් ඉගෙනීමක් තිබේ. ඒ වනාහි යමක් දෙස අලුතෙන් බලා එහි යථා ස්වභාවය හෙවත් ඇති සැටිය දැකීමකි. ඒ බැලීමෙහි පූර්ව නිගමන නැත. යමක යථා ස්වභාවය දැකීමට පූර්ණ නිගමන බාධාවකි. විද්‍යාඥයා යම් සියුම් දෙයක් දෙස අන්වීක්ෂ කණ්ණාඩියෙන් බලන්නේ පූර්ව නිගමනය ඇතිව නොවේ. පූර්ව නිගමනයෙන් යුක්තව බැලීම අලුත් දෙයක් සොයා ගැනීමෙහි දී බාධාවකි. 


අඳුරේ ගමනක් අපි යනවා යයි සිතමු. ඉස්සරහට තිබෙන දේ කිසිවක් අපට නොපෙනෙන හෙයින් අපේ ජීවන ගමන ද අඳුරේ යන ගමනකි. මාර්ගයෙහි වළවල් තිබෙන්නට පුළුවන. ගොඩැලි තිබෙන්නට පුළුවන. කටු, ගල්, බොරලු ආදිය තිබෙන්නට පුළුවන. ක්ෂේම ස්ථාන ද අතරින් පතර තිබෙන්නට පුළුවන. එසේම මාර්ගයෙහි නයි පොළොංගු වැනි විසකුරු සතුන් සිටින්ට පුළුවන. අහිංසක සතුන් ද සිටින්නට පුළුවන. අඳුරේ යන අපට ඒ කිසිවක් පෙනෙන්නේ නැත. අප ආධාර කර ගත්තේ අනුන් විසින් දෙන ලද ගමන් විස්තරයෙකි. හොඳ නරක, කළ යුතු දේ, නොකළ යුතු දේ යනාදී වශයෙන් අප ගුරුවරුන්ගෙන් පොත පතින් ඉගෙනගත් දේ එම ගමන් විස්තරයයි. අප ගමන් කරන්නේ අඳුරෙහි හෙයින් එම විස්තරයෙහි අඩංගු දේ අපට ප්‍රත්‍යක්ෂ නැත. එහෙයින් ගොඩ කොතැන ද වළ කොතැන දැයි අප හරි හැටි දන්නේ නැත. එහෙයින්ම නොයෙකුත් ව්‍යසනවලට මුහුණපාන්නට අපට සිදුවෙයි. ​ඉගෙනගත් හොඳ නරක අපේ ප්‍රත්‍යක්ෂයන් නොවන හෙයින් ජීවිත ගමනෙහි අප නොමග යවන්ට ඒ මාර්ග විස්තරය හේතුවන්නට පුළුවන. මෙය වර්තමාන ලෝකයෙහි ඉතා පැහැදිලිව දක්නට තිබෙන දෙයකි. 


ඉතාම ඉහළට ඉගෙන ගත් අය පවා දුශ්චරිතයෙන් වෙළුණු ඉතාම පහත් ජීවිත ගත කරනු නොයෙක් විට අපට දක්නට ලැබෙන්නේත් ඇතැම් රටවල උසස් ආගමික නායකයන් පහත් කෲර මිනීමරන්නවුන් වී සිටිනු දක්නට ලැබෙන්නේත් එහෙයිනි. එවැනි ඉගෙනීමකින් මනුෂ්‍ය වර්ගයාට පිහිටක් නැත. 


අඳුරේ යන විට අප අතේ එළියක් තිබේ නම් මේ අවාසනාවන්ත තත්ත්වය අපට සිදුවන්නේ නැත. මේ සම්බන්ධයෙන් අපට ලබාගත හැකි එළිය වනාහි දැකීමත් සමගම හික්මීම ඇති කරවන ඉගෙනීමය. 


ඉතා කුඩා දෙයක වුවද ඇති සැටිය අපට පෙනුණු විට ඒ දෙය සම්බන්ධයෙන් අපේ හැසිරීම සහමුලින් වෙනස් වන්නේය. බෝතලයේ විස යන ලේබලය දැකීමෙන් පසු එය අතපත ගාන්නේ කවුද? පාරෙහි තිබෙන කුණු කසළ ඇඟේ තවරා ගන්නේ සිහිය ඇති කවරෙක්ද? සත්ත්ව හිංසාවෙහි ඇති කෲර භාවය දුටු තැනැත්තා කිසි කලෙක සතුන් මරන්නේ නැත. බොරුකීම, අනුන් රැවටීම අපවිත්‍ර ක්‍රියා බැව් දකින නැතැත්තා බොරු කියන්නේ නැත. අනුන් රවටන්නේ නැත. නොකළ යුතු ඒ ඒ නොකරන්නේ භයක් නිසා නොව ඒවා නොකළ යුතු බැව් පැහැදිලි නිසාය. මේ පැහැදිලි බව නියම ඉගෙනීමේ ඒකාන්ත ඵලයයි. 


අප අසන කියවන දකින කරන දේ තත්ත්වාකාරයෙන් ප්‍රත්‍යක්ෂව දැකීමේ අවංක ඕනෑකම ඒ එ් දේ පිළිබඳ අවධානයත් ආලෝකය දල්වා ගැනීමත් වන්නේය. සංසන්දනය කිරීමක් විතර්ක කිරීමක් පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් එහි නැත. තිබෙන්නේ අවධානයත් ආලෝකයත් පමණය. යමක් සාරවත් ද නැතහොත් නිස්සාරදැයි එම ආලෝකයට පෙනෙයි. ඔහු ඒ වූ පරිද්දෙන් හැසිරේ නම් එය සැබෑ හික්මීමය. එසේ හික්මුණු තැනැත්තාගේ ජීවිතය විධිමත්ය. අහිංසකය. 


​​ලෝකයෙහි සාමය ඇතිවන්නේ එලෙස ඉ​ෙගනගත් හික්මුණු අය නිසාය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය විය යුත්තේ එසේ ඉගෙනීමත් හික්මීමත් එකවිට ඇති කරවන සික්ඛා යන වචනයෙන් ඉතා හොඳින් ප්‍රකාශවන පූර්ණ අධ්‍යාපනයයි. කරුණු ඉගෙනීමෙන් පමණක් නොව හික්මීමෙන් ද යුත් ඒ පූර්ණ අධ්‍යාපනය ශිෂ්‍යයන්ට දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමර්ථ වේවායි ප්‍රාර්ථනා කරමි. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි වර්ෂ 1979 උපාධි ප්‍රදානෝත්සවයෙහිදී ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් එහි කුලපති ලෙස කරන ලද දේශනය.        

 

 

 

ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්



අදහස් (0)

රටට උගතුන් බිහිකරන ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 82 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 155 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ
2024 පෙබරවාරි මස 10 207 0

එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.


තමාගත් ඡායාරූප දැක රණවිරුවා කම්පාවෙයි
2024 පෙබරවාරි මස 10 298 0

දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මා


ලොව විශාලතම සැප නැව
2024 පෙබරවාරි මස 03 166 0

අතමිට සරු නම්, අත දිගහැර විසි කිරීමට මුදල් ඇති නම්, සැප නැවක නැගී, ලෝකය වටා සංචාරය කිරීම තරම් තවත් අපූරු දෙයක් නැත. සැප නැව්වල නැගී දින ගණනක් හෝ මාස ගණනක් හ


හොඳම ළමා පොත් තිබුණේ ඉස්සරද ?
2024 පෙබරවාරි මස 03 56 0

ළමයින් වෙනුවෙන් ලියැවුණු පොත්පත් ගැන කතාකරනකොට ගොඩක් වෙලාවට කියවෙන දෙයක් තමයි අපි පොඩි කාලෙ අපිට කියවන්න ලැබුණු ළමා පොත් වගේ පොත් දැන් ළමයින්ට ලැබෙන


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 377 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site