මීට වසර 2560 කට පෙර මධ්‍යසාර භාවිතයේ විපාක අවබෝධ කළ ගෞතම බුදුරජාණන් වහන්සේ බෞද්ධයින්ට මධ්‍යසාර පානයෙන් වැළකී සිටින ලෙස අවවාද කළ සේක. සර්වමිත්‍ර සහ කෝසල රජවරුන්ට දේශනා කළ කුම්භ ජාතකයේ, මධ්‍යසාරවල අඩංගු දුෂ්ට ආදීනව 48 පිළිබඳව බුදුරදුන් වදාළ සේක. මධ්‍යසාර වලින් වැළකී සිටීම ප්‍රධාන පන්සිල් පද පහෙන් එකකි. අවාසනාවකට, බොහෝ සිංහල පිරිමි බෞද්ධයෝ මේ පස්වැනි ශික්ෂාපදය ප්‍රතික්ෂේප කරති.
සියලු සාක්ෂි අනුව ශ්‍රී ලාංකිකයින් ශතවර්ෂ ගණනාවකට පෙර මධ්‍යසාර පානය නොකළ බව නිගමනය කළ හැක. 1505 දී පෘතුගීසීහු ලංකාව ආක්‍රමණය කොට බුද්ධ ධර්මය විනාශ කර රටවැසියන් අතට මධ්‍යසාර බීම පුරුදු කළහ. 1658 ලන්දේසි ආක්‍රමණයෙන් පසු මෙම මධ්‍යසාර පුරුද්ද තව තවත් ප්‍රචලිත විය. 1796 ට පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයෝ රට පුරා සුරාසැල් විවෘත කිරීමට බලපත්‍ර නිකුත් කළහ. තවද 1912 දී සම්මත කරන ලද රා පනත තුළින් ශ්‍රී ලාංකිකයින් අතර මධ්‍යසාර පරිභෝජනය වර්ධනය කර බදු අය කිරීමෙන් දේශයේ භාණ්ඩාගාරය තර කළහ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘ගෝලීය මධ්‍යසාර පරිභෝජන දර්ශක’ අනුව 2014 දී ශ්‍රී ලංකාවේ ලිංග දෙකටම ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය ලීටර් 3.7 විය. පිරිමි ජනතාව අතර පමණක් ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය ලීටර් 7.3 විය. මෙම දත්ත බලපාන්නේ ලංකාවේ නීතිගත මධ්‍යසාර වන බියර්, අරක්කු, විස්කි, වයින් සහ ජින් යනාදියට පමණි. නමුත් ශ්‍රී ලාංකිකයින් පරිභෝජනය කරන මධ්‍යසාර අතුරින් 55% වඩා නීති රහිත මධ්‍යසාර වන කසිප්පු නිසා (ලීටර් 8.9) ලංකාවේ පිරිමි ජනතාව අතර, මුළු ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය ලීටර් 16.2 වේ. මෙය රටවල් අතුරින් ඉහළම පරිභෝජනය වේ.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2015 කරන ලද සමීක්ෂණයක් අනුව ලංකාවේ පිරිමි ජනතාව අතර මධ්‍යසාර පරිභෝජනය 34.8% විය. නමුත් 2016 දී NATA ආයතනය (ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරිය) මගින් පිරිමි ජනතාව අතර මධ්‍යසාර පරිභෝජන 40% බව අනාවරණය විය. වාසනාවකට ශ්‍රී ලාංකික ගැහැනු ජනතාව අතර මධ්‍යසාර පරිභෝජනය 0.5% පමණ අවම මට්ටමක පවතී. මෙම කුඩා සංඛ්‍යාව උඩරට කඳුකරයේ වනිතා වතු කම්කරු මධ්‍යසාර පරිභෝජනය තුළින්ය.
අද මධ්‍යසාර පරිභෝජනය, ජාතික සංස්කෘතිය බවට පත්වී ඇත. අවාසනාවකට මෙන් මේ මධ්‍යසාර උරුමය ලාංකික සමාජයේ සෑම ස්ථරයකටම ඉතා හොඳින් ඇබ්බැහි වී ඇත.
පොහොසත් අය විස්කි බොන අතර දුගී අය කසිප්පු බොති. අපේ සංස්කෘතියේ සෑම කටයුත්තකදීම මධ්‍යසාර බීමට අවස්ථාවක් කර ඇත. ග්‍රාමීය ප්‍රදේශවල සීසෑමේදීද, ගොයම් කැපීමේදී ද ගැමියෝ මධ්‍යසාර බොති. ගැහැනු ළමයි වැඩිවියට පැමිණෙන අවස්ථාවල දීද දරුවන්ෙග් උපන් දින උත්සව වලදී ද පිරිමි ජනතාව නිලජ්ජාවෙන් මත්පැන් බොති.
ග්‍රාමීය පෙදෙස්වල අවමංගල අවස්ථාවලදී ‘මිනිය තනි රකින’ බූරු සහ සූදුකෙළි ගසන්නන්ටද, මිනීවළ හාරන්නන්ටද අරක්කු දෙති. මෙම අශෝභන ක්‍රියාවලිය වහා නැවැත්විය යුතුය.
මම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන කාලයේදී ‘2012 දී මධ්‍යසාර පරිභෝජනයට හේතු ප්‍රමාණය සහ ආදීනව’ පිළිබඳව සමීක්ෂණයක් කළෙමි. මේ සමීක්ෂණයෙන් හෙළි වූයේ හැමදේටම පිළියම මධ්‍යසාර බවයි.
මධ්‍යසාර පානයට හේතු වශයෙන් යහළුවන් සමඟ සතුටු සාමිචිය ද, ශක්තිය ද, මහන්සිය ද, නිදිනොයෑම ද, දුකට හෝ සැපට ද, ශීතලට හෝ උණුසුමට ද ධෛර්යට හෝ බියට ද සමහර විට කිසිම හේතුවක් නොමැති බවද නිරාවරණය විය.
සමීක්ෂණයේදී බහුතරය එනම් 75% දිනකට මධ්‍යසාර මිලිලීටර 250 වැඩි ප්‍රමාණයක් (සුරක්ෂිත ප්‍රමිතිවලට වඩා බොහෝ ඉහළ පරිභෝජනයේ යෙදුණු බව තහවුරු විය.) පරිභෝජනය සඳහා වැඩි දෙනෙක් එනම්, 85% ක් අරක්කුද, 50% ක් බීරද, 46% කසිප්පුද පානය කළහ. වැඩිදෙනා මධ්‍යසාර වර්ග දෙකක් භාවිත කළහ.
මධ්‍යසාරවල විෂභාවය:-
කාලයක් තිස්සේ මධ්‍යසාර පරිභෝජනය තුළින් ශාරීරික සහ මානසික රෝග තත්ත්වයන් සහ ඇබ්බැහිවීම ඇතිවේ. තවද භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් මෙන් මධ්‍යසාර ද මානසික උත්තේජනයක් වෙයි. හෙරොයින් භාවිතය, සමාජය පිළිකුල් කරන නමුත් මධ්‍යසාර භාවිතය සමාජයේ බහුතරය පිළිගෙන ඇත. මීට ප්‍රධානම හේතුව මධ්‍යසාර කර්මාන්තයේ බලපෑමය. බොහෝ රටවල මධ්‍යසාර කර්මාන්තය මුදලින් ශක්තිමත්ය. දේශපාලන අංශයෙන් ප්‍රබලය. මේ නිසා මධ්‍යසාර කර්මාන්තය, මාධ්‍යයටද, දේශපාලනඥයින්ටද ආණ්ඩුවලට ද බලපෑම් කළ හැක.
මේ කරුනු හෙයින්, මධ්‍යසාර නිවාරණය පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දරන උත්සාහයට අපි ප්‍රශංසා කළ යුතු වෙමු. මේ සඳහා ඔහු රට වටා කටයුතු කරන ‘‘මධ්‍යසාර, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනාධිපති කාර්ය සාධක මණ්ඩලය’’ දියත් කර ඇත.
ශ්‍රී ලංකාවේ දිනයකට මත්පැන් ආශ්‍රිත රෝගවලින් 65 ක් පමණ දෙනා මියයති. මේ සංඛ්‍යාව වසරකට ශ්‍රී ලාංකික මරණ 23,000 පමණ වේ. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම ස්වභාවික මරණ සිදුවන්නේ හෘදයාබාධ තුළින්ය. නමුත් වසර 25 සිට 45 දක්වා වැඩිම පිරිමි මරණවලට හේතුවන්නේ මධ්‍යසාර ආශ්‍රිත රෝග වෙයි.
මධ්‍යසාර සහ රෝග:-
මධ්‍යසාර සහ අක්මාව - මත්පැන් පරිභෝජනයෙන් වැඩි වශයෙන් හානි සිදුවන අවයවය අක්මාව වේ. යම් කාලයක් තුළ මධ්‍යසාර පානය නිසා පළමුව අක්මාවේ මේදය තැන්පත් වී මේද අක්මා තත්ත්වය ඇති වේ. දිගින් දිගට මධ්‍යසාර ගැනීමෙන් සිරෝසීස් තත්ත්වය ඇති වේ. එවිට අක්මා සෛල දිරාපත් වී උදර කුහරය තුළ තරලයක් එකතු වී උදරය කළගෙඩිය සේ ඉදිමේ. පසුව මොළය ද හෘදය ද පර්යන්ත ස්නායුද දුබල වේ. සිරෝසීස්වල උග්‍රම අවස්ථාවේ දිගින් දිගටම ලේ වමනය කර රෝගියා මිය යයි.
සිරෝසිස් රෝගය සෑදීමේ ප්‍රවණතාවයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ගනී, (55/100,000) වොඩ්කා නම් මධ්‍යසාරය ඉතා ඉහළින් පානය කරන මෝල්ඩෝවා රටට පමණක් අපි දෙවැනි වෙමු.
මධ්‍යසාර සහ පිළිකා:-
මත්පැන් පානය, ආමාශයේ අන්නස්‍රෝතයේ මුත්‍රාශයේ සහ අක්මාවේ පිළිකාවලට කෙළින්ම හේතු වේ.
මධ්‍යසාර හා හෘදය:-
මත්පැන් පානය නිසා හෘද පේශි දුබල වීම, හෘදය ප්‍රමාණයෙන් ඉදිමීම, හෘදය දුබල වීම, අක්‍රිය වීම සහ ‘කාඩියෝමයෝපති’ තත්ත්වය ඇති වේ.
මධ්‍යසාර සහ ජීර්ණ පද්ධතිය:-
අාමාශයේ අපිචර්මය ඉදිමීම නිසා නිතරම බඩ පපුව දැවිල්ල සෑදීම්, ආමාශයේ තුවාල, අන්නස්‍රෝතය වටා රුධිරවාහිනී ඉදිමී පිපිරීම යනාදිය අපට නිතරම දැකිය හැක. තවද අග්න්‍යාශය ආසාදනය වීම, දියවී යාම සහ ක්‍රියා විරහිත වීම තුළින් අධික බඩේ කැක්කුම, වමනය, බඩ බුරුලට යාම, අජීර්ණය සහ දියවැඩියා තත්ත්වයන් ද මධ්‍යසාර භාවිතය තුළින් ඇති වේ.
මධ්‍යසාර සහ ස්නායු පද්ධතිය:-
මධ්‍යසාර විෂභාවය තුළින් මොළයේ ස්නායු ක්‍රමයෙන් දුබල වී ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වේ. එවිට කල්පනා ශක්තිය අඩුවීම, අමතක වීම, අපස්මාරය, සමාජයේ හැසිරීම දුබලවීම යන රෝග ලක්ෂණ දැකිය හැකිය.
පර්යන්ත ස්නායු දුබල වීම නිසා ඇවිදීම අමාරු වී ඇද වැටීමේ ස්වභාවය වැඩිවේ. එවිට හිස් කබල තුවාල වී මොළයේ රුධිර ගැලීම සිදුවී සිහිය නැති වේ. එම අවස්ථාවලදී විගසින් නිසි මොළයේ ස්නායු ශල්‍යකර්ම නොකළොත් සමහර විට මරණය පවා සිදුවේ.
මත්පැන්වලට හුරුවීම තුළින් නොයෙක් මානසික රෝග තත්ත්වයන් ඇති වේ. එනම් දුක, ඊර්ෂ්‍යාව, වලිප්පු සෑදීමේ ප්‍රවණතාව සහ සිය ජීවිතය නසා ගැනීම් ප්‍රවණතා වැඩිවීමය.
දිනපතා ශ්‍රී ලාංකිකයෝ දහදෙනෙකු පමණ සියදිවි නසා ගනිති. මීට සමගාමීව තව එකොළොස් දෙනෙකු සියදිවි නසා ගැනීමට අසාර්ථකව තැත් කරති. වාර්ෂිකව 3500 පමණ ශ්‍රී ලාංකිකයෝ සියදිවි නසා ගනිති.
1996 සහ 2003 දී ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් ලෝකයේ සියදිවි නසා ගැනීම් අතුරෙන් ඉහළම ප්‍රමුඛස්ථානය හිමිවිය. 2015 දී අප රටේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව, මිනිසුන් 1000 ක් අතර 28.8 විය. මෙය ලෝක සියදිවි නසා ගන්නා රටවල් අතුරින් 4 වැනි ස්ථානය වේ. අපට ඉහළින් දකුණු ඇමෙරිකාවේ ගයානාව ද, උතුරු සහ දකුණු කොරියාව ද වේ.
ලංකාවේ සිය දිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ මධ්‍යසාරවලට ඇබ්බැහි වීමය. බටහිර දේශවල සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව දුකය.
මධ්‍යසාර දිගුකල් පානය නිසා වෘෂණකෝෂ දුබල වී, ලිංගික අප්‍රාණිකත්වය ඇති වේ. එවිට සමහර පිරිමි ජනතාව සිය භාර්යාවන්, අන් පුරුෂයින් සමග ආශ්‍රය කරන බව සිතමින් ඊර්ෂ්‍යා වෙති. මේ නිසා අඹු සැමි අතර අසමගිය ඇති වී පවුල් ජීවිතය අවුල් වේ. මෙය තුළින් දුකට පත්වන්නේ අසරණ දූ දරුවන්ය.
කලිල මධ්‍යසාර රෝගය:-
ගර්භනී තත්ත්වයේ සිටින විට කාන්තාවන්, මධ්‍යසාර පානය කිරීම අතිශයින්ම භයානකය. ගර්භණී තත්ත්වයේ සිටින විට පළමු මාස තුන තුළ මධ්‍යසාර භාවිතය තුළින් කුඩා හිසක්, කුඩා නාසය, කුඩා ඇස් ඇති නොමේරු මොළය දුබල, බර අඩු අසාමාන්‍ය විකෘති වූ දරුවෙක් ලැබේ. කාන්තාවන් මධ්‍යසාර පරිභෝජනය කරන වයඹ පළාතේ හලාවත නගරයෙන් ද උඩරට කඳුකරයෙන්ද මෙවැනි දරු උපත් ගැන සඳහන් වී ඇත.
මධ්‍යසාර සහ රිය අනතුරු:-
දිනපතා ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු පමණ රිය අනතුරුවලින් මරණයට පත් වේ. 2015 වසරේදී ලාංකිකයෝ 2801 රිය අනතුරුවලින් මිය ගියහ. මෙම මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රියදුරු මධ්‍යසාර පානය තුළින්, අධික වේගයෙන් ධාවනය කිරීම, ආත්ම විශ්වාසය වැඩිවීම, වැරදි නිගමනවලට පැමිණීම, මහන්සිය සහ නිදිබර වීමය.
අපරාධ හිංසන සහ මිනීමැරුම්:-
දිගින් දිගටම බීම තුළින්. සමහර බේබද්දන්ට විශේෂ වූ ලන්දේසි ධෛර්යය තත්ත්වයන් ඇති වේ. එවිට සාමාන්‍ය තත්ත්වයේ සිටින විට කිසිදිනක සිදු නොකරන අපරාධ, කාන්තා හිංසනය හා මිනීමැරුම් සිදු කිරීමට ද පෙලඹිය හැක.
මධ්‍යසාර සහ කාන්තා සහ දරු හිංසනය:-
පවුලේ ගෘහ මූලිකයා මධ්‍යසාරවලට ඇබ්බැහි වූ විට මුළු පවුලම අගාධයට ලක් වේ. දෙමව්පියන් අතර රණ්ඩු දබර, පවුලේ අසමගිය සහ දුගී භාවය නිසා දුකට පත්වන්නේ අසරණ දූ දරුවන්ය. ග්‍රාමීය ප්‍රදේශවල බේබත් වූ ගෘහ මූලිකයා ගෙදර පැමිණි විට දුගී භාවය නිසා ආහාර පිළියෙල නොකළ අවස්ථාවල ක්‍රෝධයෙන් ආවේශ වී සිය භාර්යාවට පොරවෙන් කොටන අවස්ථා පිළිබඳ අප පුවත්පත්වලින් අවබෝධ කර ඇත.
බොහෝ අවස්ථාවල දී ශ්‍රී ලාංකික කාන්තාවෝ පවුලේ ආර්ථිකය දියුණු කිරීමටත්, විශේෂයෙන් නිවාස සෑදීම සඳහා මුදල් උපයීමට මැද පෙරදිග රටවල සේවයට යති. සමහර විට තම බිරියගේ පාඩුව නිසා මධ්‍යසාරවලට ඇබ්බැහි වූ ස්වාමියා සහ බේබදු මිතුරන් මගින් තම දරුවන් දූෂණය කිරීම පිළිබඳව පුවත්පත්වල සඳහන් වී ඇත.
මධ්‍යසාර පරිභෝජනයේ හානිය අඩුකිරීම:-
1. මධ්‍යසාර අලෙවිය සහ සැපයීම සීමා කිරීම.
භාවිතය සහ සැපයීම අතර ඇති සම්බන්ධය හොඳින් දන්නා නිසා මධ්‍යසාර සැපයීම අඩුකළ විට එහි භාවිතය අඩුවන බව නොඅනුමානය. මෙය ඉටු කිරීම සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර ඇත.
I. පාසල් සහ පූජනීය ස්ථානවලට මීටර් 500 ක් තුළින් පිහිටි සියලුම සුරාසල් වසා දැමිය යුතුය.
II. සුපිරි වෙළෙඳසැල්වල ද, මධ්‍යසාර අලෙවිය සඳහා නිකුත් කළ සියලු බලපත්‍ර අහෝසි කළ යුතුය.
III. සියලු හෝටල්වල, බාර්වල, ආපන ශාලාවල රාත්‍රී 11 න් පසු මත්පැන් පරිභෝජනය නතර කිරීම.
IV. අලුත් සුරාසල් විවෘත කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීම.
V. ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම.
VI. මධ්‍යසාර, දුම්කොළ, මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්යසාධක මණ්ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
2. මේවා සාර්ථක වීම සඳහා ඉහත සඳහන් කරුණු දෙන ලද කාල සීමාවක් තුළ ඉටුකළ යුතුය. නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. මෙම පියවරවල සාර්ථකත්වය පිළිබඳ නිසිකල්හි සමීක්ෂණ පැවැත්විය යුතුය.
3. මධ්‍යසාර භාවිතය පිළිබඳ තිබෙන සියලු නීති දැඩි සේ ක්‍රියාත්මක කිරීම.
උදා:- රිය පදවන විට රජයේ කාර්යාල තුළ ද පොදු ස්ථානවල ද මධ්‍යසාර භාවිත කරන අයට නීතියෙන් දඬුවම් ලබා දීම.
4. අධ්‍යාපනය සහ යොමු කිරීම.
මත්පැන් භාවිතයෙන් වැළැක්වීම පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා ඉලක්ක කළ යුතු කණ්ඩායම් - පාසල් දරුවන්, දහම් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ද නගර බද පැල්පත් වාසීන් සහ වතුකරයේ ජනතාව යනාදිය.
මෙය සපුරාලීම සඳහා ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරිය, ජනාධිපති කාර්යය සාධක මණ්ඩලය ද රේගු දෙපාර්තමේන්තුවද සුරාබදු දෙපාර්තමේන්තුවද, පොලිසිය, ආගමික නායකයින්, සමාජසේවා ආයතන, රාජ්‍ය නොවන ආයතන, සහයෝගයෙන් ඒකාග්‍රතාවයෙන් වැඩ කටයුතු කළ යුතුය.
මෙසේ ක්‍රියා කිරීමෙන් කාලසීමාවක් තුළ මධ්‍යසාර භාවිතය අවම කර ශ්‍රී ලංකා ජනතාව මධ්‍යසාර රකුසාගෙන් බේරාගත හැකි වේ.
මතින් වැළලෙමුද? මතින් වැළකෙමුද? මේ තීරණය ඔබේ අතේය.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු
මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මධ්‍යසාර වසංගතය