ඇසට නොපෙනෙන කාන්තා අතවර

උදාවෙන හැම දවසකම අසන්නට දකින්නට ලැබෙන්නේ අයහපත් දේමය. කිසිදා සිදු නොවිය යුතු ​ෙද්වල් දිනෙන් දිනම සිදුවෙනු පෙනේ.   


පෙම්වත්හු පෙම්වතියන් මරා දමති. මවුපියෝ දරුවන්ද, දරුවෝ මවුපියන්ද ඝාතනය කරති. පියවරු තම ලෙයින් උපන් දරුවන් කෙලෙසති. සහෝදරයෝ තම එක කුස උපන් සහෝදරියන් දූෂණය කරති. සැබැවින්ම මේවා ඉතා ම්ලෙච්ඡ ​ෙඛ්දවාචකයන්ය. මේ බුදුන් වැඩිය දෙවියන් වැඩ සිටින දේශය දැයි වරෙක සිතේ. 

 

දරුවා හඳුන්වන්නේ පින්නේ පිපෙන මලක් ලෙසටය. මලක මෙළෙක සුරැකෙන පරිදි එය පරිහරණය කළ යුතුවාක් මෙන්ම දරුවාද පරිස්සමින් ආරක්ෂා කළ යුතුය. එහෙත් අද රටේ බොහෝ දේවල් මෙන්ම දරුවන් සම්බන්ධයෙන්ද අසන්නට ලැබෙන්නේ ඉතා රළු ශෝචනීය කතා පුවත්ය.   


නිවසින් බැහැර වූ පසු දරුවාට අැති සුරක්ෂිතම ස්ථානය පාසල බවට පිළිගැනීමක් ඇත. එහෙත් අද කාලයේ පාසල තුළ මෙන්ම අවට පරිසරය තුළත් දකින්නට ලැබෙන්නේ දරුවාගේ ඉරණම ඉතා නරක නපුරු අතකට හැරවීමට මානබලන තත්ත්වයකි.   


මෙවර අපි පොලිස් පැමිණිලි පො​ෙතන් දිග හරින්නේ එබඳු කතා පුවතකි.   

 

මලීෂා එ​ෙකාළොස් වියැති දැරියකි. උපතින්ම සොඳුරු රූ සපුවක් ඇයට හිමිව තිබුණි. දඟකාර හුරතල් දැරියක වූ ඇය ඉතා ඉක්මනින් කාගේත් අවධානයට ලක්වන්නේ ඒ සුන්දර බව නිසාමය.   


ඇය කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබුවාය. එම පාසලේ මලීෂාගේ පන්තියේම ඉගෙනුම ලැබූ තවත් දරුවෙකුගේ පියෙක් නිතරම ඒ පාසලට යන්නට එන්නට විය.   


ඔහු පාසලේ අත්‍යවශ්‍ය හැම වැඩකදීම ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. ගුරුදෙගුරු හමුවල වුවද මුලසුන දරමින් පියෙකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කළේය.   
මෙසේ කාගේත් හොඳ හිත දිනාගෙන සිටි නිසා ඔහුට පාසල ඇතුළට යාමේ ඒමේ ගැටලුවක්ද පැනනැගුණේ නැත. පාසල් ගේට්ටුවද පන්ති කාමරවල දොර ද රිසි සේ ඔහු වෙනුවෙන් විවෘත වී තිබිණි.   


ගතවූයේ කෙටි කාලයකි. තම දරුවාගේම වයසේ එම පන්තියේම ඉගෙනුම ලැබූ මලීෂා දැරිය රවටාගත් මේ අවස්ථාවාදී පියා ඇය සුරතල් කිරීමේ මුවාවෙන් ළඟට ගෙන අසම්මත තෘප්තියක් ලබාගන්නට විය.   


මෙම පියාගේ ග්‍රහණයට හසුවූ හයක් හතරක් නොදත් දැරිය කෙසේ අසරණ වෙන්නට ඇත්ද? තම පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට මෙවැනි අධම පාපතරයන් තෝරාගන්නා මල් වැනි කුඩා දරුවන්ගේ අනාගතය කෙබඳු වේද?   


සියල්ලන්ගේම ඇස් වසා මේ අමන ක්‍රියාවේ නිරත වුවත් මේ සිදුවීම තවත් සිසුවියන් දෙදෙනෙකුගේ නෙත් ගැටිණි. මේ පිළිබඳව පාසලේ ගුරුවරියකට සැලකිරීමෙන් අනතුරුව පාසලේ ගුරුවරුන් සහ මව්පියන් අතර රාවය පැතිර යන්නට විය.   


මලීෂාට සිදුවූ මේ අපරාධය පිළිබඳව ලැබෙන පැමිණිල්ලෙන් පසුව වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනුයේ ඉන් අනතුරුවය.   


ඒ පිළිබඳව කතා කිරීමට අප හා සම්බන්ධ වූයේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතා ය.   


‘‘මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබුණාම අපි විමර්ශන කටයුතු ආරම්භ කළා. වුණු සිදුවීම පිළිබඳව දරුවාගෙන් සාක්ෂි සටහන් කරගෙන සිද්ධියට අදාළ වගකිවයුතු පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළා.   


මේ පුද්ගලයා මේ ගැහැනු දරුවාව ළඟට අරගෙන සුරතල් කරලා තියෙනවා. ඒ විදියට ළඟට අරගෙන සුරතල් කරන ස්වරූපයෙන් ඔඩොක්කුවේ වාඩි කරගෙන කාමුක ආශාවන් තෘප්තිමත් කරගෙන තියෙනවා. ඔහුගේ ශරීරයෙන් පිටවූ යම් දියරයක් එම පොළොවෙ පතිත වෙලා තිබුණා. ඒ වගේ අවශ්‍ය සම්පල් අරගෙන අවශ්‍ය පරීක්‍ෂණවලට යොමු කළා.’’   
මේ සිදුවී​ෙමන් පසුව ඒ දරුවගෙ මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වුණා. අසනීප වුණා.   


මෙවැනි සිදුවීම්වලට මූලික හේතුව තමයි මව්පියන්, ගුරුවරුන් දරුවන් පිළිබඳ නිසි අධීක්‍ෂණයක් නොකිරීම. මොකද, මේ ක්‍රියාව මීට පෙරත් අවස්ථා කීපයකදීම සිදුවෙලා තියෙනවා.   


මව්පියො දරුවන්ට සමීපවෙලා ඉන්න ඕනෑ. ඒ වගේම පාසල් පරිපාලන ආයතනවල තියෙන දුර්වලතාත් මෙවැනි අපරාධ ඇතිවෙන්න බලපානවා. ඔවුන් දරුවන් ගැන පාසලට යන එන පුද්ගලයන් ගැන නිසි අධීක්‍ෂණයක හිටියා නම් මෙවැනි දේවල් සිදුනොවෙන්න ඉඩ තිබුණා. අපිට වාර්තා නොවෙන මෙවැනි අපරාධ තව කොයිතරම් නම් සිදුවෙනවා ඇත්ද?’’   
තමන්ගේ දරුවගෙම පන්තියෙ ඉගෙනුම ලබන දරුවෙකුට මේ වගේ දෙයක් කරන්න තරම් මේ මිනිස්සු කොයිතරම් මානසික අසහනකාරී තත්ත්වයකද ඉන්නෙ? ඒ නිසා දරුවො ගැන හැම තැනකදීම නිරන්තරයෙන්ම කවුරුත් අවධානය යොමු කිරීම ගොඩක් වැදගත්.   


මෙවැනි දේවල් නොවෙන්න හැම දෙනාම වගබලාගන්න ඕනෑ. ඒ වගේම නුපුරුදු අත්දැකීම් ගැන දරුවන් දැනුම්වත් කරන්න ඕනෑ. මේ සිදුවීමෙන් පසුව අපි මව්පියන්, පාසල් තුළ ගුරුවරුන් ආරක්ෂක නිලධාරීන් දැනුම්වත් කළා. මේවා වැළැක්වීම තමයි කළ යුතු වෙන්නෙ.   


මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ ස්ථාවර නීතියක් තියෙනවා. අපි ඒවා උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. අදාළ වැරදිකරුවන්ට අධිකරණය ඉදිරියේ දඬුවම් කරනවා.’’   
වර්තමානයේ දරුවන් ලිංගික ක්‍රියාකාරකම් ඇතුළු නොයෙකුත් අපයෝජන හා අපචාරවලට ලක්වීමේ ප්‍රවණතාවක් පැවතීම නිතර දෙවේලේ වාර්තාවීම කනගාටුවට කරුණකි.   
මෙය සුන්දර ළමාවියට විශාල අනතුරක් මෙන්ම අනාගත සමාජයේද බරපතළ ගැටලුවක් නිර්මාණය කරන්නකි.   


පෙරට වඩා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මව්පියන් අවධානය යොමු කළ යුතුය. තම දරුවන් පාසලට ගිය පසුද දරුවන් පිළිබඳ පෙරට වඩා අවධානයෙන් සිටිය යුතුය.   
තමාගේ දරුවාගේ ආරක්ෂාව පමණක් නොව රටේ සියලුම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම කොතරම් වැදගත් වේද යන්න වරක් දෙවරක් ​නොව සිය දහස් වාරයක් කල්පනා කළ යුතු කාලය දැන් එළඹ තිබේ. 

 
විශේෂ ස්තූතිය: කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි, කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි උදය හේමන්ත සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා

 

 


සටහන   
ධනු විජේරත්න