හිරු සඳු එකවර දෙපස නැගීමෙන් අප දෙපස එකවර පෙනී සිටින නැග එන සුපිරි බලවතුන් වන චීනය සහ ඉන්දියාව අතර මෛත්‍රීපාල ජනාධිපතිතුමා “ද ​ග්‍රේඩ් බැලන්සින් ගේම්” හෙවත් දේශපාලන මහා අතුරේ යාමේ අභියෝගය බාර ගෙන ඇත.   


ඇමෙරිකන් ‘ඇපල්’ විසි වී චීන ‘හුවාවෙයි’ සෙල්ෆෝන් සාක්කුවට වැටී ඇත.   


කොළඹ ගාලු පාරේ සමහර වැඩබිම්වල බෝඩ් ලෑලි චීන කටු කම්බි අතුරින් පමණක් ලියැවී ඇත. ගෝල්ෆේස් පැත්තට යනවිට අහස උසට නගින යෝධ දොඹකර අතරින් සිහියට නැගෙන්නේ හොංකොං නගරය යැයි කීවොත් නිවැරදිය. ෂැංගරිල්ලා, හයට්, මැන්ඩරීන් ආදී මෙකී නොකී චීන ආයෝජන ගොල්ෆේස් හි බණ්ඩාරනායක පිළිරුව පිටුපසින් නැගී සිටියි.   


අපගේ ආහාර මාර්ග ද දැන් දැන් මහාමාර්ග මෙන් ෂැංහයි ෆ්‍රයිඩ් රයිස්, චොප්සුයි, නූඩ්ල්ස්වලටම හුරු වී ඇත.   
ලබන දෙසැම්බර් 17 වැනිදා චීන තරුණ ජෝඩු 75ක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ විවෘත එළිමහනේ බන්දා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවීමත් සමගම ශ්‍රී ලංකාව චීනයේ ප්‍රේම පරාදීසය බවට පත් වීමට ද ඉඩ ඇත. සංචාරක ව්‍යාපරය පැත්තෙන් බැලූවිට මෙය ජයග්‍රහණයකි.   


ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ​ෙලාකු රැස්වීම්වලදී පවා චීන මහතාට වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ සියලු දෙනාගේ ඇස් යොමු වී ඇත්තේ චීන පොකට්ටුවට නිසාය.   


වන් රෝඩ්, වන් බෙල්ට් හෙවත් එකම පාරක, එකම ධාවන පථයකට ඇතුළු වීම කලාපීය දේශපාලනයේ අතුරේ යන සෙල්ලමක් බව මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොඳින් දන්නා නිසා ලෝකයේ දෙවැනි ආර්ථික මහා බලවතා වන චීනය සමග යමින්   


“සුවදේ මට සීතල සුළඟ පවා   
හිමි බුදු වුණු බුද්ධ ගයාවේ”   


ගීතය ගයමින් ඉන්දියාවේ “යකා” අවුස්සා නොගැනීම ද සිහි බුද්ධියෙන් කළ යුතුය. 

 
ඉන්දියාව මෙන් පස් ගුණයකින් විශාල ආර්ථිකයක් ඇති චීනයේ දළ ජාතික වත්කම ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 12කි. විරැකියාව සියයට 3 දක්වා බස්සවා ඇති අතර දැන් එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 8,481කි.   


චීනයට ආසියාන් සංවිධානයේ ප්‍රබල රටවල් 10 වන බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය ඇතුළු ඉන් පිටත සිටින ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය වැනි රටවල් සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුම් බදු ගිවිසුම් අත්සන් කිරීමට හොඳ නම් ඇයි අපට බැරි යැයි ජනාධිපතිතුමා අසන ප්‍රශ්නයයි.   


අද අපේ චීන ආයෝජන නිසා සමහර බටහිර රටවල් දේශපාලන වපර ඇසකින් අප දෙස බලන බවක් පෙනී යයි.   
අප දෙපස සිටින නැගී එන සුපිරි බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් විට අහසට පොළොව මෙනි. චීනයේ ගම් සභාවක තියා “සුපර් ස්ටාර්” තරගයක්වත් ඡන්දයක් නැති අතර ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශයයි.   


 මේ දෙක අතර මෛත්‍රීපාල ජනාධිපතිතුමා “ද ග්‍රේට් බැලන්සින් ගේම්” හෙවත් දේශපාලන මහා සමතුලිත ගමනක් යාමේ අභියෝගය බාර ගෙන ඇත. ඉන්දු චීන හයිබ්‍රිඩ් ක්‍රමයට හෙවත් නව දෙමුහුම් විදෙස් පිළිවෙතක් අනුගමනය කරමින් විදේශීය ආයෝජනයන් රටට අහිතකර නොවන ආකාරයට කළමනාකර ගැනීමේ ප්‍රතිපත්තියට ජනාධිපතිතුමා ගරු කරනු ඇත.   


ජාතියේ වැදගත්කමක් ඇති විදේශීය ප්‍රතිපත්තිය කළමනාකරණය හරි හැටි නොකළහොත් විශාල විසංවාදයක් විය හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට හිටපු විදේශ ලේකම් ආචාර්ය හෙන්රි කිස්​ෙජ්ර් පැවැසීය. එය ශ්‍රී ලංකාවට ද එසේමය. විදේශ ප්‍රතිපත්ති කිහිපයක් තිබිය නොහැක.   


ඒ නිසා කලාපීය සහ ලෝක බල ගුණකයන් හෙවත් “රිජනල් ඇන්ඩ් ග්ලෝබල් පවර්ස්” සැලකිල්ලට ගනිමින් විදේශ ප්‍රතිපත්තිය ව්‍යහුගත කිරීමට සහ ඒ මගින් රටේ ආර්ථික පණ ගැන්වීම ජනාධිපතිතුමාගේ දර්ශනයයි. කිසියම් ......... ප්‍රතිපත්ති රටේ විදේශ ප්‍රතිපත්තිය නොවිය යුතු බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.   


ඉන්දියාවේ මෝදි දර්ශනයේත් චීනයේ ෂී ජින්-පින් දර්ශනයේත් සම්ප්‍රයත්නයේ සිටිමින් අපට අප වටා සිටින්නේ ආර්ථික මිතුරන් පමණක් බව ජනාධිපතිතුමා කරන කියන දෙයින් පෙනී යන කරුණකි.   


එදා ඔබාමා ආරම්භ කළ “පිවටි ඔෆ් ඒෂියා” හෙවත් ආසියාව වෙත නැඹුරු වීමේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය අද “රිවර්ස් ඔෆ් ඒෂියා” යනුවෙන් රිවට් වී ඇත.   


නව චීන කළ එළිදැක්මත් සමගම ඇමෙරිකාව ආසියාවේ සෙල්ලම් පිටිය ප්‍රවේශමෙන් පරිහරණය කරනු ඇත. ඒ සඳහා ඇමෙරිකානු මිතුරන් ආසියාවෙන් මේ දිනවල සොයමින් සිටියි.   


ඇමෙරිකාවට සහ චීනයට අත පය දිග හැර සෙල්ලම් කිරීමට ඉන්දීය සාගරය නමැති ක්‍රීඩා පිටිය දැන් විවෘත වී ඇත.   
 අද චීනය කලාපයේ මහා බලවතා වී හමාරය. චීනයේ දකුණු චීන මුහුදේ චීනයට හොරා ඇමෙරිකන් හාල්මැස්සකුටවත් ඇතුළු වීමට බැරිය.   


චීනය දිනෙන් දින අපට බැඳෙන විට චීනයට ගසන්නට බැරි මානව හිමිකම් බෙර පද අපට ගැසීමට පටන් ගෙන ඇත. මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිසිම බල කඳවුරකට නොනැමෙන බවත් කරන කියන දෙයින් පෙනී යයි. 

 
මෛත්‍රීපාල ජනාධිපතිතුමා හදවතින්ම චීනයට භෞතිස්ම වූයේ සභාපති මාඕ සේතුං, ​ෙචෟ එන් ලායි වැනි කොමියුනිස්ට් නායකයන් එදා පංචශීල ප්‍රතිපත්තියේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රගතිශීලී නායක්තවය යටතේය. එය ඔහු චීන කඳවුරට ලගු කිරීමක් නොවෙයි.   


මෛත්‍රීපාල ජනාධිතිතුමා ප්‍රතිගාමියකු නොවන බව කොයි කවුරුත් දනිති. අදත් ඔහුගේ මහගමසේකර මාවතේ නිවසේ කාර්යාලයේ දකුණුපස බිත්තියේ විශාල පිංතූර 3ක් එල්ලා ඇත. කාල්මාක්ස්, ලෙනින් සහ මහත්මා ගාන්ධි එහි ඔහුගේ ඇසට අසුවන මායිම තුළ සිටියි.   


එනිසා ඔහුට චීනය සමග ගනුදෙනු කිරීමට අලුතින් ඉගැන්විය යුතු නැත.   


චීනය සහ ශ්‍රී ලංකාව සමග මිත්‍රත්තවය දැඩිව ඇති වූයේ මෙරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ බව ද දන්නෝ දනිති.   


බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ සිට ප්‍රංශයේ “අයිෆල්” කුළුණටත් වඩා උස ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ දක්වා විහිදුණු රහස එදා 13 වැනි සියවසේ සිටි කුබිලායි ඛාන් පවා ශ්‍රී ලංකාව කෙරෙහි නොදැක්වූ චීන චිත්තාලම්භන ප්‍රීතියෙන් බව නොරහසකි.   


එදා ෆාහියන් භික්ෂුව පවා නොදැක්වූ ඇල්මකින් චීනය හා අප සැම අතින්ම වෙළෙමින් සිටියි. මෙයට ඇතැමුන් අකුල් හෙළති.   


අද චීනයේ බෙයිජිං සිට ඉරාකය ඉරානය හරහා තුර්කිය දක්වා නව ආර්ථික කලාපයක් සාදමින් සිටියි. මීට අමතරව දකුණු චීන මුහුද සහ ඉන්දීය සාගරය වටා පාකිස්ථානයේ ග්වේදාර් වරායේ සිට හම්බන්තොට හරහා ඕමානයේ සිට ඉරාකයේ බස්රා දක්වා වරාය නමැති මුතු මාලය බැඳෙයි.   


චීනය ආසියාවට ආයෝජනය කරන ඩොලර් බිලියන 113 නිසා ආසියාව අඳුරින් එළියට පත්වීම ඉදිරි දශකයට බාර කටයුත්තකි.   


එ් නිසා,   


“ඔබෙන් තොර මාවතක්   
ඔබෙන් තොර ගීතයක්   
ඔබෙන් තොර හීනයක් කොයින්දෝ...”   


යන්න අප්‍රිකාවේ සිට ආසියාව දක්වා ගැයෙද්දී “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ” කියමින් අපට සිටිය නොහැකි බව ජනාධිපතිතුමා තේරුම් ගෙන ඇත.   


තවත් පැත්තකින් බලන විට චීන නායක ෂී ජින්-පින් සහ අපේ ජනාධිපතිතුමා අතර බොහෝ සමානකම් ඇත. දෙදෙනාගේම ජීවිතයෙන් තුනෙන් දෙකක් ගෙවී ඇත්තේ ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙනි.   


එහෙත් චීන ජනපතිතුමා මෙන් අපේ ජනාධිපති ප්‍රින්ස්ලින් හෙවත් කුමර පැටියකු නොවේ. 

 
දෙදෙනාගේම ප්‍රතිපත්තිවල ගැබ් වූ පොදු කාරණා කිහිපයක් ඇත. දේශපාලකයන්ගේ පුහු පිම්බීම් පීත්තපටි කැපීම් රබන් සුරල් බෙර පද රෙඩ් කාපට් මල් මාලා ආටෝපවලට දෙදෙනාම එතරම් කැමැත්තක් නැත. චීනයේ වැඩියෙන්ම අලෙවි වන කොමියුනිස්ට් පක්ෂයේ පත්තරය වන “පීපල්ස් ඩේලි” පත්තර කන්​ෙත්රුවට ගොස් ඔහු කිව්වේ “බොක්කෙන්ම හිතවත් වෙයව්” කියාය. එසේ කීමට අපේ ජනාධිපතිතුමාට තමාගේ කියා හෝ පක්ෂයේවත් පත්තරයක් නැතත් ඔහුත් පාක්ෂිකයන්ට කියන්නේ එයමය.   


එදා සභාපති මාඕගෙන් පසු චීනයේ වඩාත්ම බලගතු නායකයා ෂී ජින්-පින්ය.   


එක පැත්තකින් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස් සමරුව උදේ හවා පිංතූරයෙන් දකින ලෙනින්ගේ ඇසින් සමරණ අපේ ජනාධිපතිතුමා රුසියාව සහ චීනය තුළ ඇති දේශපාපාලනය සහ සංස්කෘතික ගුණාංග සිය පෙනහළු යුගල මෙන් රැක්කත් ඔහු අද පවතින වෙළෙඳපොළ මුල් කරගත් ආර්ථික ලෝකය තුළ නදහස් මතධාරී චරිතය රඟපාමින් සිටියි.   


ෂී ජින්-පින් දර්ශනය ගැන චීනයේ ආසියානු පැසිපික් කලාපීය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ‘ටයිම්’ සඟරාවට පවසා ඇත්තේ ෂී දර්ශනය කොන්ක‍්‍රීට් මෙන් චීනයට සවි වී ඇති බවත් ඔහු ලෝකය සහ චීනය යකඩ කම්බිවලින් ගැට ගසමින් සිටින බවත්ය.   


අපේ ජනාධිපතිතුමාටත් ලංකාව ලෝකය සමඟ ගැට ගැසීමේ අවශ්‍යතාව ඇතත් ඒ සඳහා ඔහුට සපයනු ලැබෙන්නේ ශක්තිමත් යකඩ කම්බි දැයි සිතා බැලීමට කාලය පැමිණ ඇත.   


කම්බි සමඟ ළණු ද මිශ‍්‍රවි තිබීම නිසා වඩාත් පරෙස්සම් විය යුතුව ඇත්තේ මෙරට විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ කඳවුරු දෙකක බල අරගලයක් මතුව ඇති බැවිනි.   


චීනයේ ජනපති ෂී චීනයේ රතුපසේ හෙවත් රතුපස්වල උපන් රත්තානුවන්ටන් වඩා තද රත්තකු බව ‘ටයිම්’ සඟරාව කියයි.   


චීන ජනපතිගේත් අපේ ජනපතිගේ දේහවල ‘ජෛව රසායන’ මාක්ස්, ලෙනින්, චේ, ක්‍රස්තෝ ගේ දර්ශනවලට මෙන්ම ගාන්ධිතුමාගේ අවිහිංසාව දක්වා දිව යන විදියක පැතිර ඇත.   


ඉදිරි කාලයේදී මෛත‍්‍රී ජනාධිපතිතුමා ද තමන්ටම හිමි ‘හරි තැන’ සිටගත් විට චීන ජනාධිපතිතුමාටත් වඩා ප‍්‍රබල බලතල ඔහුට හිමිවනු ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය නොමැතිව ශ්‍රී ලංකාව වැනි රටක් පාලනය කළ නොහැකි බව චීනය දෙස බැලූවිටම පෙනී යන කරුණකි.   

 


එසේ බලනවිට චීන යෝධයා පවා ‘මෛත‍්‍රිය’ ඉදිරියේ දණ ගැස්වීම එතරම් අපහසු කාරණයක් නොවෙයි.