කුඩා දරුවකුගේ කකුල කූඹින් කෑමෙන් ඇතිවූ සලකුණු

 

 

කුහුඹුවන්ගෙන් අපමණ කාලයක් තිස්සේ පීඩා විඳින ගමක් සම්බන්ධයෙන් දුක හිතෙන කතාන්දරයකි මේ. මෙම ගමට කුහුඹු ව්‍යසනය ආවේ අද ඊයේ නොව වසර ගණනාවක සිට බව ගම්වැසියෝ කියති.   
ගාල්ල අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද රක්‍ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්‍ෂිතය අවට ගම්වලට විශාල වශයෙන් පැතිරීම නිසා මෙම ව්‍යසනය ඇතිවී ඇතැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්‍ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාසවලට තර්ජනයක් වන අයුරින් බෝවී පැතිරී යන බවයි.   


ගාල්ල ලබුදූව ප්‍රදේශයේ නිවාසවලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන්ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් අප සමඟ පැවැසීය. මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම්වල සිටි බවට වාර්තා වූ බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කියයි. කුහුඹුවන් ගමන් කළ මාර්ග නිවසේ හා ගොඩනැගිලි බිත්ති පුරාම දක්නට ලැබෙන බවත් නිවෙස ඇතුළත මේ කුහුඹුවන් දැකිය හැකි බවත් හෙතෙම පැවැසීය.   


මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්‍ෂා කර ඇති අතර කෘමිනාශක වර්ගයක් භාවිත කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන ලෙස දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. ඒ ගැන පවසන එච්.ඩබ්ලිව්. ආරියදාස මහතා   


උයා ගත්ත දේ කන්න බෑ. වියලා ගත් දේ නැවත ප්‍රයෝජනයට ගන්න බෑ. සෝදාගත්දේ පිරිසිදුවට තියා ගන්න බෑ. ගම පුරා ගස්පුරා, බිත්ති පුරා මේ හැතිකරය අපට වද දෙනවා.   

 

කූඹි නිවසක්


 

එන්.ජී. මුදිතා මහත්මිය   


‘‘අපි කෘමි නාශකයක් භාවිත කළත් දිනකට දෙකකට වඩා කෘමීන් පාලනය කරන්න බෑ. ඇඳුමක් වේලා ගැනීමට වැලක දමා තිබුණොත් එම ඇඳුම යළි ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට කුහුඹුවන් විසින් සිදුරු කරනවා. ඔවුන් ගමන් ගන්නා මාර්ගය ඇඳුමේ යළිත් සෝදා ඉවත් කළ නොහැකි ආකාරයට පැල්ලමක්සේ සිටිනවා. නිවෙසේ හාල් ඇතුළු ආහාරයට ගන්නා කිසිම දෙයක් අමතක වීමකින් හෝ වසා නොතැබුවහොත් විනාඩි ගණනාවකින් එය කුහුඹුවන්ගෙන් පිරී යනවා’’   


අයි.එන් ආදිහෙට්ටි මහතා මේ තත්ත්වය නිසා එදිනෙදාට අවශ්‍ය වන ආහාර පමණක් තම නිවෙස්වලට ගෙන ඒමට සිදුවී තිබෙනවා යැයි කීය. වසර ගණනකට පෙරාතුව මිහිමත සිය අණසක පතුරුවාගෙන සිටියේ ඩයිනෝසරයෝය. නමුත් ඩයිනෝසරයන් හදිසියේම වඳවී යාමෙන් වසර ලක්ෂ ගණනකට පසු මිනිසා මිහිමත සිය අණසක පතුරවන්නට විය.   


මිනිසා කෙදිනක හෝ මිහිතලයෙන් සමුගතහොත් මේ පොළෝ තලයේ අණසක පතුරුවනු ඇත්තේ කුහුඹුවන් බව විද්‍යාඥයෝ කියති. එයට ඔවුහු විද්‍යාත්මක කරුණු ද ගෙනහැර දක්වති. කුහුඹුවන් පිළිබඳව එදාද අද ද දැවැන්ත පරීක්ෂණ මේ වනවිට ලොව සිදුවෙමින් පවතී.  


ඔවුන් පවසන්නේ මිනිසා සමුගත් පසු කුහුඹුවන් අණසක පතුරන බව වුව ද මිනිස් වර්ගයා සිටියදීම ගාල්ලේ ගම්මානයක සිය අණසක පතුරවන්නට කුහුඹු විශේෂයක් සමත්ව සිටීම පෙර කී විද්‍යාඥයන් පවසන දේ සත්‍යයක් බවට සාධකයක් විය නොහැකිද?   


ගාල්ලේ කුරුන්දකන්ද ගම්මානයට වසර ගණනාවක සිට ඇති මේ කුහුඹු කරදරය අදවනවිට තම නිවෙස්වල ජීවත්වීමට නොහැකිව ගම හැරදමා යන්නට පවා ගම්වැසියන්ට පාර කපා තිබෙන බව කේ. ඒ. කුසුමාවතී මහත්මිය තවදුරටත් විස්තර කළාය.   


බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද ගම්මානය මායිම්වන්නේ කුරුන්දකන්ද රක්ෂිතයටය. ඒ රක්ෂිතයේ සිටි කුහුඹු විශේෂයක් දැන් ගම ආක්‍රමණය කරමින් සිටියි. ගැමියන් පවසන්නේ වසර කිහිපයක සිට වර්ධනය වූ කුහුඹුවන් දැන් නිවෙස්ද ආක්‍රමණය කර ඇති බවයි.   


ඩබ්ලිව්. ඩී. ධර්මකාන්ති මහත්මිය ද අපට අදහස් දැක්වූවාය.   


ගස්වල කූඩු තනාගෙන ජීවත්වන මේ කුහුඹුවන්ට ගැමියන් පවසන්නේ කාකයෝ යනුවෙන්. තරමක් විශාල කළු පැහැති මොවුන් ගස්වලත් විවිධ අහුමුලුවලත් කූඩු හදනවා. ඒ කූඩුවක් කියන්නේ දහස් ගණනක් කුහුඹුවන් ජීවත්වන සුවිසල් ජනපදයක් අඟල් කිහිපයක කුඩා කූඩුවක සිට අඩි කිහිපයක් විශාල කූඩු දක්වා විවිධ ආකාරයේ විවිධ හැඩයේ කූඩු මේ ගමේ ගෙවල්වල දක්නට ලැබෙනවා.   


ගමේ පදිංචිකරුවකු ඩී.එල් චන්දන මහතා කියා සිටියේ   

 

පේර ගසක බැඳ ඇති කූඩුවක් සහ කූඹි , පැපොල් ගසට අත්වී ඇති ඉරණම


අපි මේ කරදරය සම්බන්ධයෙන් නිලධාරීන්ට දැන්වූවා. දැන් අපිට කූඹි නිසා ගෙවල්වල ඉන්නත් බැරිවෙලා තියෙන්නේ. හැම ගහකම, සෑම අහුමුල්ලකම මුන් කූඩු හදනවා හැමතැනම යනවා. කිසිම විදියකින් මර්දනය කරන්න බැරිවෙලා. ගෙවල් ඇතුළටත් එනවා. බිත්ති දිගේ, බිම දිගේ යනවා. යන හැමතැනම ලොකු කළු පැල්ලමක් හිටිනවා.  


මානෙල් චන්ද්‍රා මහත්මියගේ අදහස් මෙසේය.   


මේ කූඹි නිසා අපිට ගෙවල් අතහැරලා යන්න සිදුවෙලා තියෙන්නේ. පුදුම කරදරයක්. ගෙවල් ඇතුළේ ඉන්නත් බැහැ. කෑවොත් පුදුම විසක් තියෙන්නේ. පලු ගහනවා පුපුරු ගහනවා. බෙහෙත් ගන්න වෙනවා. කූඹි ආවට පස්සේ ගමේ අයට සෙම් අමාරුව වැඩි වුණා. දොස්තරලත් කියන්න ගත්තා කූඹි නිසා සෙම වැඩිවෙනවා කියලා. දැන් ​​ගමම ලෙඩවෙලා. හැම ගෙදරකම කූඹි. ගෙවල්වල වයරින් පවා කාලා. හැම දේම විනාශ වෙනවා. මේක මර්දනය කරන්න පියවරක් ගත්තේ නැත්නම් අපිට ගම අතහැරලා යන්න වෙනවා. මේ ගැන අපි කියන්නේ වසර ගණනාවක සිටයි නමුත් විසඳුමක් නෑ.   


බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුහුඹු විශේෂයක් මෙලෙස අවට නිවාසවලට තර්ජනයක් වන ආකාරයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ගමගේ මහතා කියා සිටියේය.   
ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. “කුරුන්දකන්ද සහ කුරුන්ද කොට්ඨාසවල නිවාසවලට මේ කූඹි තර්ජනය තියෙනවා. වනජීවී නිලධාරීන් පැමිණ මේ ගැන සොයා බැලුවා. කෘමිනාශකයක් මගින් සතුන් විනාශ කරන්නත් හැකි බව සාකච්ඡා කළා. එයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඉතා ඉක්මණින් සතුන් මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.   


වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු කසුන් තරංග මහතා මෙසේ කීවේය.   


 “හායකයෝ කියා හඳුන්වන කුහුඹු විශේෂයක් තමයි මේ පැතිර සිටින්නේ. මේ සතා ආරක්ෂිත සත්ත්ව විශේෂයක් නොවන නිසා ගැමියන්ටම පාලනය කළ හැකියි. අපිට මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් දිය නොහැකියි. මේ සතා ගස්වල පවා පැතිරී විශාල ගහණයක් දක්නට ලැබෙනවා. ඒ නිසා පාලනයත් අපහසුයි. කෘමිනාශක යොදා තාවකාලිකව මර්දනය කළත් එය ස්ථිර විසඳුමක් නොවේවි. ජෛවපාලන ක්‍රමයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වනවා.”   


මේ කුහුඹුවන් නිසා ජීවිතය ගැටගහ ගන්නා අපූරු සත්ත්ව විශේෂයක් ද සිටියි. ඒ කුරුලු විශේෂයකි. ශ්‍රී ලංකාවේදී කොඩ කෑරලා හෙවත් දුඹුරු කෑරලා ලෙස හඳුන්වන මේ කුරුලු විශේෂය ඉංග්‍රීසි බසින් රු​ෙෆාස් වුඩ්පෙකර් ලෙස හැඳීන්වේ. සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ සෙලිඅස් බ්‍රැචියුරස් යනුවෙනි.   

 


මේ කුරුලු විශේෂය දකුණු හා ගිනිකොන දිග ආසියාවේ දක්නට ලැබෙන දුඹුරු පැහැති කෑරල විශේෂයකි. ශ්‍රී ලංකාවේ පහතරට සහ කඳුකරයේ මීටර 700ක් පමණ දක්වා ඉහළ කොටසේ කැලෑ පෙදෙස්වල ජීවත්වන මේ කෑරලුන් බිත්තර දමන්නේ ඉහත සඳහන් කළ කුහුඹුවන්ගේ ජනපද තුළය. මේ සොබා දහමේ අපූරු මිත්‍රත්ව​ෙයකි.   


කුහුඹුවන් විසින් සාදන ලද පාපන්දුවක් තරම් වූ ජනපදයක් තෝරාගන්නා කෑරලා මේ කූඩුවේ එක් බිත්තියක් හාරා කුහුඹුවන් සිටියදීම තම බිත්තර ඒ තුළට දමයි. මේ කුහුඹුන් තම මිත්‍ර කිරිල්ලියට කිසිදු හානියක් නොකරයි. කිරිල්ලියගේ බිත්තරයට හෝ ඇයට කිසිදු හානියක් නොකරන කුහුඹුවෝ කිරිල්ලියට බිත්තර රකින්නට ඉඩ දෙන්නේ පුදුම ආකාරයකිනි. කොඩ කෑරලාගේ බිත්තරය ද සුවිශේෂීය. එය අන් කුරුල්ලන්ගේ මෙන් වර්ණයක් නොගන්නා විනිවිද පෙනෙන බිත්තරයකි. ඇය වරකට බිත්තර 2-3ක් දමන්නීය.   


ශ්‍රී ලංකාවේ දැකිය හැකි වූ කොඩ කෑරලුන්ගේ ගහන ඝනත්වය පසුගිය කාලයේ ඉතා ශීඝ්‍රයෙන් අඩු වූයේ මේ කුහුඹුවන්ගේ ජනපද අඩුවීම හේතුවෙනි. ඒ නිසාම කොඩ කෑරලා වර්තමානය වනවිට මෙරට දුර්ලභ කුරුල්ලකු බවට පත්ව සිටියි.   


පරිසරයේ ඇති විනාශය හා සංතුලනය වියැකී ගිය නිසාදෝ මේ ආකාරයට මේ ගමෙහි කුහුඹුවෝ රජවී ඇත. ජනතාව අසරණවී ඇත. විසඳුමක් හෝ විෂ දුමක් ලබාදී ගැම්වැසියන්ගේ සුරක්ෂිතාවය ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමයි. වගවීමයි.  

 

 

 

(සටහන හා ඡායාරූප : හබරාදුව නිමල් අල්ගෙවත්ත, 
අමල් වික්‍රමරත්න ගාල්ල)