‘තෙලිඟු‘ යනුවෙන් කී සැනින් බොහෝ දෙනකුගේ සිහියට එන්නේ භාරතයේ තෙලිඟු චිත්‍රපටය. තෙලිඟු භාෂාව කතා කරන ජන කොට්ඨාසයක් ලංකාවේ වාසය කළත් බොහෝ දෙනකු ඔවුන් හඳුන්වන්නේ තෙලිඟු කතා කරන පිරිස් කියා නොව වෙනත් නම් කියමිනි.   


තඹුත්තේගම කුඩාගම යනු ලංකාවේ තෙලිඟු ජනතාව වැඩිපුරම පදිංචිව සිටින ප්‍රදේශයයි. තෙලිඟු ජනතාවට ආවේනික සිරිත් විරිත් රැසක් තිබුණද අද වන විටත් ඒවා ක්‍රියාත්මක නොවන අතර තෙලිඟු ජනතාව බොහෝමයක් සාමාන්‍ය ක්‍රමවේදයට හුරුවී සිටිති. මේ ලිපිය තෙලිඟු ජනතාවගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ගැනය.   
තඹුත්තේගම බැඳිවැව මංසන්ධියෙන් හැරී යද්දී කුඩාගම හමුවෙයි. 1980 දශකයේ මුල් කාලයේදී හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා ඇමැතිවරයකුව සිටිය දී උදාගමක් ලෙස කුඩාගම බිහි විය. කුඩාගමට පෙර තෙලිඟු ජනයා කණ්ඩායම් කිහිපයක් ලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වූහ. ඒ කණ්ඩායම්වලට නායකයෝද සිටියහ. නායකයන් හැඳින්වූයේ ආරච්චිලා ලෙසය.   


නමුත් තඹුත්තේගම කුඩා ගම නම් ගම්මානය තෙලිඟු ජනයා වෙනුවෙන් ලැබීමත් සමඟ කණ්ඩායම් කිහිපයක පිරිස් සාම්ප්‍රදායික දිවි පෙවත නිමා කරමින් ස්ථිර නිවාසවලට පැමිණියහ. මේ වන විට තෙලිඟු ජනතාව කුඩාගමට අමතරව ගලිගමුව සහ අක්කරේපත්තුව ප්‍රදේශවල ද ජීවත් වෙති.   


වරිග සභාව යනු තෙලිඟු පිරිස් සම්බන්ධයෙන් තීරණ ගන්නා සභාවයි. වරිග සභාවෙන් ගන්නා තීන්දු තීරණවලට ඔවුහු සියලු දෙනා ගරු කරති. එය අවසානාත්මක තීරණය ලෙස ඔවුහු බාර ගනිති. දඬුවම් දෙන්නේද ආරච්චිලාගෙන් සමන්විත කමිටුවක් මගිනි. අතීතයේ ශාරීරික දඬුවම් නියම කළ ද වර්තමානයේ එවැනි ශාරීරික දඬුවම් ලබා නොදෙන තරම්ය. බොහෝ විට සිදුවන්නේ දඩගැසීමයි.   


සාම්ප්‍රදායානුකූලව නෑනා මස්සිනාලා විවාහ වීම තෙලිඟු සම්ප්‍රදාය ලෙස පැවැතිය ද මේ වන විට එය වෙනස් වී ගොස් තිබේ. අද වන විට සිංහල සහ දෙමළ ජනතාවද ආදර සම්බන්ධතාවලින් තෙලිඟු පවුල්වලට සම්බන්ධ වී සිටිති. සාමාන්‍යයෙන් තෙලිඟු විවාහවලදී නළා පිඹිමින් කුඩා උත්සවයක් පවත්වන අතර දෑවැද්දට දෙන්නේ සාම්ප්‍රදායික රැකියාවක් කරගෙන යෑමට අවශ්‍ය කරන දේවල්ය. නයි, රිලව්, නළා ආදිය ඒ අතර වෙයි. සාම්ප්‍රදායික තෙලිඟුපවුල්වල තවමත් මෙය සිදුවෙයි. එමෙන්ම විවාහ වන කාන්තාව සාත්තර කීම වැනි සාම්ප්‍රදායික ක්‍රියා දැන සිටීම පුරුෂයාගේ පැත්තෙන් විශේෂයක් සේ සලකයි.   


තෙළිඟු උත්සවද හරි අපූරුය. ඔවුන් උත්සවයේ ප්‍රධානීන් පිළිගන්නේ බොහෝ විට පිඹුරකු හෝ නයකු කරට දමාය. ඒ හරියට සාමාන්‍ය සමාජයේ පිරිස් මල්මාලා පළන්දන අයුරිනි. නළාව යනු සෑම අවස්ථාවකම ඔවුන් භාවිත කරන උපකරණයකි.   


ජීවත්වීම සඳහා මිනිස්සු විවිධ රැකියා කරති. එහෙත් තමන් කරන කියන රැකියාවෙන් තෘප්තිමත්ව සතුටින් ජීවත්වන්නෝ ඉතා අල්පය. මෙවන් පසුබිමක පරම්පරාවෙන් තමන්ට උරුම වූ වෘත්තිය ගෞරවාන්විතව, සතුටින් කරගෙන යන්නන් අතර තෙලිඟු ජාතිකයෝ ද වෙති. පෙර සඳහන් කළ පරිදිම ඇතැම් තෙලිඟු පිරිස් මෙම රාමුවෙන් පිටතට ගොස් සිටිති.   


‘‘නයි” හා ‘‘රිළවුන්” නටවමින්, සාස්තර කියමින් යන පිරිස් අප ඕනෑ තරම් දැක ඇත. ඒ බහුතරයක් තෙලිඟු ජාතිකයෝය.   


මීට කලකට ඉහත ඔවුන් සොයා අප ස්ථාන කිහිපයකට ගිය අතර තෙලිඟු ජනතාවගේ හිටපු ආරච්චිලා සම්බන්ධ කර ගැනීමට ද අපට හැකි විය. 

 
විවිධ නගරාසන්න ප්‍රදේශවල එක් සථානයක කුඩා කූඩාරම් රැසක් හදාගෙන ජීවත් වෙන මෙම තෙලිඟු පිරිස් දුටු දුටු බොහෝ දෙනකු සිතන්නේ ඔවුන් යනඑනමං නැති පිරිසක් කියාය. නමුත් ඔවුහු යනඑනමං නැති පිරිස් නොවෙති. ඔවුන්ගේ ස්ථිර නිවාස තඹුත්තේගම කුඩාගම සහ තවත් ප්‍රදේශ කිහිපයක තිබේ. තඹුත්තේගම කුඩාගම තෙලිඟු පවුල් 400කට අසන්න ප්‍රමාණයක් ජීවත් වෙති.   


නගරයෙන් නගරයට ගොස් කූඩාරම් ගසන එක් පිරිසක් අසලට ගිය විට බැලූ බැල්මට හැඟී ගියේ එහි පවුල් 20 ක් පමණ ජීවත් වන බවයි. ගස්වල එල්ලන ලද දිගු සාරි පොටවල්වලින් කියා පාන්නේ කුඩා දරුවන් ද එහි සිටින බවකි. දරුවන් නැළවීමට හැකි වන අයුරින් ඒවා සකස් කර තිබිණි. ප‍්‍රමාණයෙන් කුඩා වුව ද බොහෝ කූඩාරම් කොටස් තුනකින් සමන්විත විය. නිදාගැනීම සඳහා වෙන් වූ කොටසට අමතරව අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමට කොටසක් ද, ආහාර පිසීමට කොටසක් ද එහි විය.   


අවට ප‍්‍රදේශය ඉතා පිරිසුදුය. වැස්සක් ඇදහැලුණහොත් කූඩාරම තුළට වතුර නොගැලීම උදෙසා සෑම කූඩාරමක් වටේටම කුඩා දිය අගලක් සකසා තිබේ.   

 

 

සති දෙක තුනක් එක් ස්ථානයක ජීවත් වෙමින් තම වෘත්තියන්හි නිරත වී මුදල් හදල් සොයාගන්නා මොවුහු ඊළඟ මාසයට වෙනත් ස්ථානයකට යති. සඳුදා දිනය ඔවුන්ගේ විවේක දිනයයි. එදිනට සතුන් අල්ලා ගැනීම සඳහා දුර බැහැර පෙදෙස්වලට යති. නයි හා රිළවුන් නටවා ජීවත් වුව ද සත්ව හිංසාව යටතේ ඔවුනට නීතිමය පියවර නොගනී. රටේ පැවැත්ම උදෙසා ඔවුන්ට ඔවුන්ගේ වෘත්තිය නිදහසේ කරගෙන යාමට රජය අවසර දී ඇතැයි තෙලිඟු ජාතිකයකු පැවසීය.   


තැනින් තැන ගොස් කූඩාරම් ගසන පිරිස අතර සිටි එම කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයකු අප සමඟ කතා බහට එක් විය. ඔහු තඹුත්තේගම කුඩාගම විදුහලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුගේ වෘත්තිය නයින් හා රිළවුන් නැටවීමයි.   


‘‘සාමාන්‍යයෙන් නයි නටවලා එහෙම දවසකට මෙච්චරක් හොයනවා කියා කියන්න අමාරුයි. වැඩ තියෙන දවස් වගේම නැති දවසුත් තියෙනවා. රුපියල් 750ක් 800ක් වගේම රුපියල් 1000ක් 1500ක් හොයා ගන්න පුළුවන් දවසුත් තියෙනවා. වැඩියෙන් මහන්සි වුණොත් හොඳ ගාණක් හොයන්න පුළුවන්. ඒ සඳහා කිලෝමීටර් 20ක් 25ක් ඇවිදින්න ඕනෑ. දවසක් මට සල්ලි ඕනෑ වෙලා මම ගොඩක් මහන්සිවෙලා රුපියල් 6000ක් හෙව්වා නයින් නටවලා එක දවසක්. ඒක තමයි මා දවසකට උපයපු වැඩිම ආදායම.   


දවසක් මම පාරේ යනකොට එක ගෙදරකින් කතා කළා නයි නටවන්න. එතන කාන්තාවන් සහ ළමයින් කිහිප දෙනෙක් හිටියා. මම ඉතින් නයාව නටවන්න හිතාගෙන නයාව එළියට ගත්තා. එදා හිටියේ ගොඩක් ලොකු නයෙක්. ඌ ගොඩක් දරුණු පාටයි. ඌ එළියට ආවා විතරයි එතන හිටිය ගැහැනු ටික දුවන්න ගත්තා ගාල කඩාගෙන. සමහරු දොරවල් වහගත්තා. පස්සේ බොහොම අමාරුවෙන් ආයෙත් කට්ටිය එකතු කරගෙන මගේ රස්සාව කරගත්තා.   
තවත් දවසක් මං තව ගෙදරකට ගිහින් නයාව නටවලා ඉවරවෙලා පෙට්ටියේ දාගත්තා. මා දන්නේ නැහැ කොහොම හරි නයා පෙට්ටියෙන් එළියට ඇවිත්. ටික වෙලාවකින් මා යන්න පිටත් වුණාම මට තේරුණා නයා එළියට පැනලා කියලා. ඒ පාර ඔන්න සේරම එතන හිටිය අය කලබල වෙලා දුවන්න ගත්තා. පස්සේ හැම තැනම හොයල හොයලා බැලුවම මෙන්න නයා ගල් ගොඩක් අස්සට රිංගලා. සමහර වෙලාවට අප ළඟ ඉන්න නයි පැන යන වෙලාවල් තියෙනවා. තවත් සමහරු බාර ඔප්පු කරන්න නයින් නිදහස් කරන්න කියා නයින් ඉල්ලනවා. මේවා පරම්පරාවෙන් ආපු රැකියාවල් නිසා එහෙම අවස්ථාවල නයා දීලා දාලා වෙනත් නයෙක් හොයා ගන්නවා.   


සාමාන්‍යයෙන් අපි නයි හොයාගෙන යනවා. නයෙක් දැක්කොත් උගේ ඔළුවට ලීයක් තියලා තද කරලා බෙල්ලෙන් අල්ලාගන්නවා. ඒක තමයි නයි අල්ලන ක්‍රමවේදය. අපි අල්ලගත්තාම නයාව පෙට්ටියට දාලා කූඩාරමට ගෙනත් උගේ උඩ දත් දෙක ගලවනවා. නයාගේ විෂ තියෙන්නේ උඩු ඇන්දේ තියෙන දත් දෙකේ.   


අපි වැදගත් විදිහට ජීවත් වෙනවා. අපේ දරුවන් තඹුත්තේගම හොඳට ඉගෙන ගන්නවා. අද අපේ දරුවන් අපේ මේ පාරම්පරික රැකියාව කරනවට කැමති නැහැ. අද මම මේ ඇවිත් ඉන්නේ දරුවන්ට හොරෙන්. අපේ පැතුමත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් කිරීමට අනාගතය සකස් කර දීමයි.”   


තෙළිඟු ජාතිකයන්ගේ බිරින්දෑවරුන් අත බලා සාස්තර කීමෙන් මුදල් හරි හම්බ කිරීමට හුරුවී ඇත.   


 ‘‘කුඩා දැරියක් මල්වර වුණාමත් අපි කරන චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. දවස් හතක් වෙනම තියෙනවා. තනිරකින්න කෙනෙක් වෙනම තියනවා. අවශ්‍ය කෑම බීම හොඳට දෙනවා. දවස් හතකට පස්සේ බෙහෙත් වතුරෙන් නාවනවා.   


මම අල්ලේ රේඛා බලලා සාස්තර කියනවා. මම සාස්තර කියන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. දවසට පස්හය දෙනකුට සාස්තර කියනවා. සාමාන්‍යයෙන් පස්හය දෙනකුට සාස්තර කියන්න ලැබුණම මට එදා දවසට හොඳටම ඇති. ලැබෙන ආදායම ගැන මා හොඳටම තෘප්තිමත් වෙනවා. සමහර අය හොඳට සාස්තරය හිතට වැදෙන්න කීවොත් තවත් දිගටම අහනවා. හොයාගෙන එන අය ගොඩක් ඉන්නවා’’ යැයි තෙලිඟු කාන්තාවක කීවාය.  

 

 

 

 

 

 

 

 

 

තරිඳු ජයවර්ධන සහ දීපා අධිකාරි