ලංකාව තරම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හැදූ රටක් ලෝකයේ තවත් තිබේදැයි සැක සහිතය. 1947 හැදූ ව්‍යවස්ථාව 1972 දක්වා තිබුණේ බ්‍රිතාන්‍යයන් හදා දී තිබූ නිසාත් එවකට මෙරට සිටි පාලකයන්ට බලකාමයක් නොතිබූ නිසාත්ය. 1972 දී සමගි පෙරමුණු රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදා එයින් රට පාලනය කළේය. ඒ පාලනය 1977 දී බිඳ වැට්ටවූ ජේ.ආර්. අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදා රට තවත් පාලන ක‍්‍රමයකට ගෙන ගියේය. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රීලනිපය එදා පටන් අද දක්වාම විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් සිටියි.   


ජේ.ආර් හැදූ ව්‍යවස්ථාවද ජේ.ආර් ගේ කාලයේදීම 13 වතාවක් සංශෝධනයට ලක්විය. ජේ.ආර්. 1977 බිහිකළ රජය 1994 දී බිඳ වැටී ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයක් බලයට පත්වූ පසු ජනපතිවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජේ.ආර්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එපාවී අලුත් ව්‍යවස්ථාවක් හදන්නට වුවමනා විය.   


ඇය ඒ කටයුත්ත පැවරුවේ එවකට අධිකරණ ඇමැති වූ මහාචාර්ය ජී.එල්. පීරිස්ටය. ඇමැති ජී.එල්. මේ කටයුත්ත කරටගෙන තමන්ගේම දෙයක් වගේ ඇඟට ගෙන කරන්න පටන් ගත්තේය. ඒක ජී.එල්. ගේ හැටිය. අන්තිමට මහත් වැර වෑයමෙන් හැදූ ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළදා එවකට විපක්ෂය වූ එජාපය ව්‍යවස්ථා කෙටුම්පතට ගිනි තැබුවේය. ව්‍යවස්ථා කෙටුම්පත සභාගර්භයේදිම පිච්චුවේ රේණුකා හේරත් ඇතුළු පිරිසකි. ඒ ව්‍යවස්ථාව එතැනින්ම අවසන් විය.   


ෆෙඩරල් ව්‍යවස්ථාවක් හෙවත් පැකේජයක් මෙමගින් දෙන්න යන බව එදා චන්ද්‍රිකාට එරෙහි සියලු පක්ෂ හඬගෑමේ ප‍්‍රතිඵලය වුණේ ව්‍යවස්ථාව හැදූ ඇමැති ජී.එල්.ට “පැකේජ් පප්පා”යි නමක් පටබැඳීම පමණය.   


දැන් යළිත් ආණ්ඩුව තව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදමින් සිටියි. ඒ සඳහා විවිධ මතවාදද ඉදිරිපත්ව තිබේ. පක්ෂව මෙන්ම විපක්ෂවද බරසාරෙට ව්‍යවස්ථාව ගැන අදහස් ඉදිරිපත් වෙයි. එය හොඳ ප‍්‍රවණතාවකි.   


ලංකාවේ දේශපාලන පක්ෂවලට මෙතරම් ව්‍යවස්ථා තැනීමේ වුවමනාවක් ඇතිව තිබෙන්නේ බල ලෝභය නිසා බව සමහරුන්ගේ පිළිගැනීමය. ඒ නිසා මිනිසුන්ද අලූත් ව්‍යවස්ථා දෙස බලන්නේ තමන්ගේ දේශපාලන ඇසින් මිස රටට හිතකර ඇසකින් නොවේ. එයට හේතුව මේ රටට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හදන්නේ දේශපාලකයන් මිස බුද්ධිමතුන්ගේ එකමුතුවකින් නොවීමය. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් හදන බව කියන විටම ජනතාව තම තමන්ගේ දේශපාලන ඇසින් ඒ දෙස බලති. කොතරම් හොඳ යෝජනා රටට හිතකර යෝජනා ඇතත් එතැනින් ව්‍යවස්ථාවම අවුල්ය.   


පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුවද අවසන් වරට ව්‍යවස්ථාවක් හැටියට කෙටුම්පතක් සකස් කළේ චන්ද්‍රිකා ජනපතිනියය. ඇයගේ මුල්කාලීන අරමුණ යහපත් එකක් බව රටම දැන සිටියේ විධායක ජනපති ධුරය අහෝසි කරන බව ඇය තම ඡන්ද ව්‍යාපාරයේදී ජනතාවට පොරොන්දු වූ නිසාය. එහිදී අලුත් ව්‍යවස්ථාවක් ගැන නොකියවිණි. කියැවුණේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවය. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයා සමඟ ප‍්‍රසිද්ධ ගිවිසුමකට එමින් ඇය තම අභිලාෂය ලියැවිල්ලකින් ඔහුට පිරිනැමුවාය.   


එහෙත් ඇගේ දස වසරක පාලන කාලය තුළ විධායක ජනපති ක‍්‍රමය අහෝසි නොවුණු අතර අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වුවමනාවක් කරළියට ගෙනාවාය. ඒ වෙනුවෙන් රටපුරා නොයෙක් සම්මන්ත‍්‍රණ පැවැත්විණි. එයට බොහෝ ජනතාවගේ සහභාගිත්වයද තිබිණි. ජනතා අදහස් විමසමින් පුවත්පත් දැන්වීම්ද පළ කෙරිණි. මහජනතාව, දේශපාපලන පක්ෂ හා සිවිල් සමාජයේ සංවිධාන තම අදහස් හා නියෝජනද ඉදිරිපත් කළහ.   
එම අදහස් සියල්ලටම සවන්දී වසර දෙකහමාරකට පසු කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත අවසානයේ ගිනිබත් කෙරුණේ තවත් හේතු කීපයක් තිබුණද එක් ප‍්‍රධාන හේතුවක් මුල්කොට ගනිමිනි. එනම් පවතින ව්‍යවස්ථාව සහ අලුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන අතුරු කාලය තුළදී තමාම ජනපති ධුරයේ සිටිය යුතු බවට චන්ද්‍රිකා ජනපතිනිය ඉදිරිපත් කළ කොන්දේසියය. ව්‍යවස්ථාවේ තවත් ව්‍යාකූලතා තිබුණත් රටට පෙන්වන්න තිබූ හොඳම හේතුව මෙය බවට පත් කර ගනිමින් විපක්ෂය ව්‍යවස්ථා කෙටුම්පත ගිනි තැබුවේය.   


චන්ද්‍රිකා ජනපතිනිය තව කාලයක් බලයේ සිටිමට අලුත් ව්‍යවස්ථාව උපයෝගී කරගන්නවාය යන සිතුවිල්ල නිසා ජනතා විරෝධයක්ද ගිනි තැබීමේ කටයුත්තට එල්ල වූයේ නැත. අන්තිමට සිදුවුණේ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ මහන්සිය අපතේ ගොස් ව්‍යවස්ථා කෙටුම්පත පුස්තකාල පොත් රාක්ක මතට යාම පමණය.   


අලූත් ව්‍යවස්ථාවට එසේ විය යුතු නැත. ව්‍යවස්ථාවක් හදන්නේ නම් එය කළ යුත්තේ දශක ගණනාවකට රට යන අත තීරණය කිරීමේ බලයද එයට පිරිනමමිනි. බලයට පත්වන පක්ෂයට ඊළඟට බලයට එන මඟ තීරණය කිරීම සඳහා ව්‍යවස්ථා සකස් කිරීම රටකට සුදුසු දෙයක් නොවේ. සියලු ප‍්‍රධාන පක්ෂ සහ රටේ ප‍්‍රධාන ආගමික කොටස් සියල්ලටම එකඟවිය හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම භාරදූර කාර්යයක් බව සැබෑය. එහෙත් අවසන් වතාවට හැදූ චන්ද්‍රිකා ජනපතිනියගේ සම්මත නොවූ ව්‍යවස්ථාව මගින්වත් පාඩම් ඉගෙන ගෙන ව්‍යවස්ථාවක් හැදීම කාගෙ කාගේත් කාලය ඉතිරි කර ගැනීමකි. 

 

 

 

 

ප්‍රේමකීර්ති රණතුංග