
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අන්තර්ජාතික සහයෝගයෙන් පාලනය කරගැනීමේ එකඟතාවයට 2015දී රටවල් 195ක් අත්සන් තබන ලද පැරිස් ගිවිසුම වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත්, යළි පසුගියදා ඒ පිළිබඳව නැවත සලකා බලන බව ප‍්‍රකාශ කිරීමත් හේතුවෙන්, පරිසර දූෂණය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ කතිකාවත යළි අලුත්වී ඇත.
දිනෙන් දින ඉහළ යන ලෝක ජනගනයට වාසස්ථාන, ආහාරපාන, ඇඳුම්පැළඳුම් ආදිය සැපයීමේදී, ස්වභාවික පරිසරයට හානියක් නොවෙන අයුරින් එය කරගත හැකිවේද යන්න පිළිබඳ ගැටලුවකට අපි මුහුණදී සිටිමු. මෙය රැවුල හා කැඳ ප‍්‍රශ්නයට වඩා අතිගැඹුරු අයුරින් විමසා බලා විසඳාගත යුතු ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත.
පෘතුවි ගෝලයෙන් සියයට හැත්තෑවයි දශම අටක ප‍්‍රදේශයක්, සාගර මුහුදු, කලපු හා දැවැන්ත විල් ලෙස ජලයෙන් වැසී ඇත. වියළි පොළොව ලෙස ඉතිරිව ඇති සියයට විසි නවයයි දශම දෙකෙන් තවත් කොටසක්, මිනිස් වාසය සඳහා නොගැලපෙන ධ්‍රැව, කඳු හෙල් සහ කාන්තාර ලෙස ද පවතින අතර මිනිසාට ජීවත්වීමට හැකි අයුරින් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කොටසක් පමණි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ධ්‍රැව කලාපවල හිම දියවී ඉහළ යන මුහුදු ජල මට්ටම ඒ සුළු කොටස ද ගිලගනිමින් සිටී.
අද ලොව ජනගහණය බිලියන හතකි. මේ වෙනවිට ද ලොව ඇතැම් නගර ජනාකීර්ණ බවේ උපරිමය දක්වා පැමිණ ඇත. ජනාකීර්ණ බව සමඟම පැතිර යන දුගී බව හා සාගතයද, පරිසර සංරක්ෂණය දෙවැනි තැනකට තල්ලු කරදැමීමට සමත්ව ඇත.
අද ලෝක ජනගහනයෙන් බිලියනයක පිරිසක් සාගතයෙන් පෙළෙති. මෙය මුළු විශ්ව ජනගහනයෙන් සියයට දහනවයක ප‍්‍රතිශතයකි. මිලියන හයසිය හැටතුනක පිරිසක් පානීය ජල හිඟයෙන් පෙළෙති. ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා ප‍්‍රමාණවත් ජල පහසුකම් නැත. අපිරිසිදු ජල පානය හේතුවෙන් වැළඳෙන රෝගවලට ගොදුරුවී දිනකට ළමුන් දහසක් මියයති. මේ පරිසර දූෂණය හේතුවෙන් දැනටමත් අප මුහුණ පා සිටින බියකරු තත්ත්වයකි.
සෑම වසර දොළහකට හෝ දහහතරකටම ලෝක ජනගහනය බිලියනය බැගින් වැඩි වෙතැයි කියති. 2050 වෙනවිට ලෝක ජනගහනය බිලියන නවයයි දශම හයක් වෙතැයි ගණනය කර ඇත. මේ ශතවර්ෂය අවසන් වෙනවිට අප‍්‍රිකානු ජනගහනය තෙගුණයකින් වැඩිවෙනු ඇත. චීනය පරදා ඉන්දියාව ලොව ජනගහනය අධිකම රට බවට පත්වෙනු ඇත. මේවා දැනටමත් මන්දපෝෂණය පවතින රටවල්ය. මිල ස්ථාවරයක තබාගැනීම සඳහා දියුණු රටවල් වාර්ෂිකව තම කෘෂි නිෂ්පාදනයෙන් සියයට තිහත් තිස්පහත් අතර ප‍්‍රමාණයක් විනාශකර දමති.
විවිධ හේතූන් ඉදිරිපත් කරමින්, ගෝලීය වනසම්පතින් සියයට තිහක ප‍්‍රමාණයක් දැනටමත් විනාශකර හමාරය. තවත් සියයට හතළිස් හයක ප‍්‍රමාණයක් දැනට විනාශවෙමින් පවතී. තව ඉතිරිව ඇත්තේ සියයට විසිහතරක තරම් වූ වන සම්පතක් පමණි. වන සම්පත පෘතුවියේ පෙනහැල්ලය. ආහාරයෙන් තොරව මිනිසාට දින කීපයක් ගතකළ හැකිය. ජලයෙන් තොරව ගතකළ හැකි දින ගණන ඊට වඩා අඩුය. වාතයෙන් තොරව මානවයාට ජීවත් විය හැක්කේ විනාඩි කීපයක් පමණි.
දිනකට සිලින්ඩර තුනකට ආසන්න ඔක්සිජන් ප‍්‍රමාණයක් මිනිසකු ආශ්වාස කරතැයි ගණනය කර ඇත. මේ අනුව මසක කාලයකදී සාමාන්‍ය මිනිසකු විසින් ආශ්වාස කරනු ලබන ඔක්සිජන් ප‍්‍රමාණය සිලින්ඩර අනූවකට සමානය. මේ වනසම්පතින් නොමිලේ ලැබෙන දේය. ලෝක ජනගහනයෙන් සියයට දහයක පිරිසක් වනගතව හෝ වනාශ‍්‍රිතව ජීවත් වෙති. මිලියන තුන්සිය පනහක් ඍජුවම වන පරිසරය සමඟ ජීවත් වෙන්නෝය. ඔවුන් වන සම්පත රැකගැනීමට මිස එය විනාශ කිරීමට හවුල් වෙන්නේ නැත. පරිසරය දූෂ්‍ය වීම අවම කරගැනීමේ ලාභදායී මාර්ගය වෙන්නේ වන සම්පත රැකගැනීමය.
වැඩිවෙන ජනගහනය නඩත්තුව පරිසරයට බලපෑමක් නොවෙන අයුරින් කරගත හැකිවේද යන්න ගැටලුවකි. ඉදිරි පරම්පරාවල වාසය සඳහා වාසස්ථාන ගොඩනැගීමට නව බිම් අවශ්‍ය වෙනු ඇත. නිවාස තැනීම සඳහා ඇතැම් අමුද්‍රව්‍ය සපයා ගැනීම පරිසරයට අත තැබීමෙන් තොරව කළ නොහැකිය. 2050 වෙනවිට බිලියන නවයයි දශම හයක් වෙන ලෝක ජනගහනය පෝෂණය කිරීම ඇඳුම් පැළඳුම් සැපයීම පානීය ජලය ලබාදීම හා ප‍්‍රවාහනය පරිසරයට තර්ජනයක් වෙනු නොඅනුමානය.


බිලියන නවයයි දශම හයක ජනතාවක් පෝෂණය කිරීම සඳහා දැනට පවතින වගාබිම් සියයට තිස්හතකින් වැඩි කළ යුතුව ඇති බව ලෝක ආහාර සංවිධානය කියයි. දැනටමත් ලෝක ජනගහනයෙන් සියයට විස්සක ප‍්‍රතිශතයක් ඍජුව හෝ වක‍්‍රව කෘෂිකර්මයේ නියැලෙති. ගොවීන්ගෙන් බහුතරය දුප්පතුන්ය. ඔවුන්ගේ ඉදිරි පරම්පරාව එම වෘත්තියේම නියැලෙතැයි සිතීම දුෂ්කරය.
මේ ශතවර්ෂය මැද වනවිට අපට ඉතිරිව තිබෙන (කර) දිය සම්පතින් සියයට හැත්තෑවක ප‍්‍රමාණයක් මානව පිපාසය සංසිඳවීමට හා වෙනත් ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතාවන් පිරිමසා ගැනීම සඳහා යෙදවීමට සිදුවෙනු ඇත. බිලියන නවයයි දශම හයක පිරිසක් පෝෂණය කිරීමට ආහාර වගාව සඳහා ජලය සපයා ගැනීම මූලික ප‍්‍රශ්නයක් බවට පත්වෙනු ඇත. සෝයා කිලෝවක් ලබාගැනීම සඳහා බීජය තවාන් කළ මොහොතේ සිට ජලය ලීටර දෙදහස් තුන්සීයක් අවශ්‍ය වේ. අර්තාපල් කිලෝවක් ලබාගැනීම සඳහා වගාවට ජලය ලීටර එකසිය හැටක් සැපයිය යුතුය.
දැනටමත් නගරාසන්නව ඇති පරිසර දූෂණය පිළිබඳව සිතන විට බිලියන නවයක ජනගහනයක ප‍්‍රවාහන කාර්යයේදී සිදුවිය හැකි පරිසර දූෂණය පිළිබඳව සිතාගත හැකිය. ඉන්ධන දහන මෝටර් රථ පාවිච්චියෙන් සිදුවෙන පරිසර දූෂණය අවම කිරීම සඳහා දැනටමත් ඇතැම් රටවල් ප‍්‍රධාන නගරවල ඉන්ධන දහන වාහන ගමනාගමනය ඇතැම් දිනවල තහනම් කරති. ජනාකීර්ණ නගරවල පවතින වාහන තදබදය හේතුවෙන් ගමනේ දුර ප‍්‍රමාණයට වඩා සිදුවෙන ඉන්ධන දහනය වැළකීමේ ක‍්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාව දැනටමත් දැනෙමින් ඇත.
ජනගහනය වැඩිවීමත් සමඟම මුහුණ දීමට සිදුවෙන ඒකපුද්ගල පාරිභෝජන පාරිසරික වපසරිය හීනවීම සහ කැළිකසළ ප‍්‍රශ්නය ද අමතක කළ නොහැකිය. මෙය වෙනම පුළුල් ලෙස සාකච්ඡාවට ගතයුතු ය.
ඕනෑම අවාසි සහගත වාතාවරණයකට ගැලපෙන අයුරින් හැඩගැසීමේ ශක්තිය සියලුම ජීවීන් සතුය. මේ සඳහා සත්ව ලෝකයෙන් මෙන්ම මත්ස්‍ය ලෝකයෙන් ද ලබාගත හැකි උදාහරණ මිනිසාට ද නොගැපෙන්නේ නොවේ. ද්‍රැව ආශ‍්‍රිතව ද කාන්තාරවල ද මිනිසා ජීවත්වෙන්නේ වසර දහස් ගණනක සිටය. එහෙත් පිරිසිදු වාතයෙන් තොරව මිනිසාට නිරෝගීව ජීවත්වීම සඳහා වෙනත් විකල්පයක් සොයාගැනීම කළ හැකිවේද යන්න ප‍්‍රශ්නයකි.
යටියන,
ක්ලැරන්ස් කොස්තා,
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd