(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෑ කෑමට පාන් ගෙඩි දෙකක් කිලෝමීටරයක් දුරින් පිහිටි බේකරියකින් ගෙන්වා ගැනීමට රුපියල් පන්සියයක් වියදම් කරන්නට සිදුවූ පුවතක් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.


රටම දන්නා වියතෙකුගේ නිවහනකි. රාත්‍රී ආහාර වේලට පාන් කමුයැයි යෝජනාවක් කෙරිණි. දින ගණනාවක් තිස්සේ බතින් පමණක් සප්පායම්වන්නට සිදුවීම නිසා දෙමහල්ලෝ මේ තීරණය ගත්තේ ඒකමතිකවය.


ඒ අනුව ප්‍රදේශයේ නමගිය බේකරියකට ඇමතුමක් ලබාදී පාන් රාත්තලක් ලබාගැනීමට අවශ්‍ය බව දැන්විය. එවිට කියවුණේ එක් පාන් ගෙඩියක් වෙනුවෙන් තම ජංගම රථය එවන්නට බැරි බවය. අඩු තරමේ පාන් ගෙඩි දෙකක්වත් ගන්නේ නම් එවිය හැකි 
බවත්ය.


ඒ අනුව මේ වියතා පාන් රාත්තල් දෙකක් ඇණවුම් කළේ එකක් පසුදා උදේ ආහාරයට ගන්නා අදහස ඇතිවය. ඇණවුම පරිදි ත්‍රිරෝද රියක්  පැමිණියේය. පාන් ගෙඩි දෙක සමග බිල්පතක් ද විය. පාන් ගෙඩියක් රුපියල් එකසිය පනහ ගානේ දෙකට රුපියල් තුන්සියයකි. ප්‍රවාහන ගාස්තුව සමග මුළු මුදල රුපියල් පන්සියයක් බව එහි දැක්විණි.


කිසිවක් කරකියා ගත නොහැකි වූ මේ වියතා තමන් ගැටයකට අහුවුණු බව තේරුම් ගත්තේය. කිසිත් නොදොඩා රුපියල් පන්සියය ගෙවනු ලැබීය. ත්‍රිරෝදය ගිය පසුව ඔහු පාන් ගෙඩි දෙක කිරා බැලීය. එහි බර ග්‍රෑම් හයසියයක් තරම් විය. ඇඳිරිය ඉවත් කරන තුරාවට ආයේ නම් පාන් නොකන තීරණයක් ගත් ඔහු පැවසුවේ ප්‍රවාහන ගාස්තුව රුපියල් දෙසියයක් ලබාගැනීම ගැන දුකක් නැති නමුත් රුපියල් එකසිය දහයකට මිල කෙරෙන පාන් ගෙඩි දෙකට රුපියල් තුන්සියයක් අය කිරීම සාධාරණ නැති බවයි.