හෝටලයේ කුස්සියේ ගෝලයාවූ ඔහුගේ රාජකාරිය වූයේ එළවළු හා මාළු සුද්ධ කිරීමත් කුස්සියේ භාජන සේදීමත්ය. ඔහු සේවයට පැමිණ මාස දෙකක් ගතවිය. දිනක් හෝටලයේ මුදලාලි ඔහු අමතා හෙට ඉඳන් නිකන් ඉන්න වෙලාවට පැනටි්‍රයේ තියෙන පිඟන් ටිකත් හෝදල දානවා යැයි පැවසීය.

මහත්තයා මට කරන්න තියෙන්නේ කුස්සියේ වැඩ ටික විතරනේ. වෙන දේවල් කරන්න බැහැ. ගෝලයාගේ පිළිතුර විය. එවිට මුදලාලි එහෙම කරන්න බැරිනම් මම කෙනෙක්ව දාලා වැඬේ කරලා තමුසෙගේ පඩියෙන් දවසට සීය ගානේ කපලා එයාට දෙනවා යැයි කීය.


කිසිවක් නොකී ගෝලයා කරබාගෙන සිටියේය. මේ මාසේ පඩි ඕනේ කීවාම මම වේලාසනින් පඩිත් දුන්නා. මුදලාලි පැවසුවේ කෝපයෙනි. රාත්‍රියේ මුදලාලි පිටව ගිය අතර තම ඇඳුම් ස්වල්පය බෑගයක දැමූ ගෝලයා එය හිතවතකුගේ නිවසේ තැබීය. පසුදින අවදිවූ හෙතෙම දියනා පිරිසිදුවී කැෂියර් වෙතට ගොස් මල්ලී මට රුපියල් දෙදහක් දෙන්න. මම ටක් ගාලා පිටකොටුවට ගිහිල්ලා බෙහෙත් වගයක් තියෙනවා. අරගෙන එන්නම් යැයි පැවසීය.


රුපියල් දෙදහස ලබාගත් ගෝලයා හිතවතාගේ නිවසේ තිබූ තම ඇඳුම් ද රැගෙන පිටකොටුවට පැමිණියේය. පිටකොටුවේ ඇවිදින ඔහුට මුදලාලිගෙන් ඇමතුමක් ලැබිණි. වැඩ ඉවර වෙලා පැන්ටි්‍රයේ පිඟන් ටික හෝදලා දානවා. හෙතෙම තද ස්වරයෙන් පැවසීය. තව මුකුත් එපාද ගෝලයා විමසීය.


මොකක්ද කිව්වේ. මුදලාලි විමසු විට දුරකථනය විසන්ධි කළ ගෝලයා නුවර බලා යන බසයකට ගොඩ වූයේය.

ක්‍රිස්ටෝපර් සීපියන් 
අනුරාධපුරය.