එක්තරා ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් ගේදොර හිමි ධනවතෙක්. වතුපිටි, හරකාබානට අමතරව නිවසේ ආරක්‍ෂාවට සුරතලයට ඇතිකරන බල්ලෝ කීප දෙනෙක් ද සිටිති.

මොහු ධනවතකු වුවද ලෝභයෙකි. වියදම අරපරිස්සමටම නොව මසුරු කමටය. පරම්පරාවෙන් ලත් දේපළ ද බොහෝය. ඒවා නඩත්තු කරන්නේ ද ආදායම් උපරිමව ලැබෙන එහෙත් වියදම් අඩු ක‍්‍රමයටය. එබැවින් අඩු පඩි දී කුලී කම්කරුවන්ගෙන් ද බැනුම් අසයි.

කන්නේ නොකා බැරිකමයට. මොහු සතියකට දෙතුන් වතාවක් නගරයේ මාළු වෙළෙඳපොළට යයි. ඒ බල්ලන්ට කෑමට මාළු ගැනීමටය. වෙළඳුන්ගෙන් ඉල්ලන්නේ බල්ලන්ට දීමට ‘පොඩි මාළු’ ටිකකි. මේ මාළු ගෙනියන්නේ බල්ලන්ට ද හාම්පුතාටදැයි වෙළඳුන්ට කුකුසකි.

දිනක් මොහු මාළු වෙළඳපොළට ආවේය. ‘‘මුදලාලි පෙරේදා අරන් ගිය මාළු හරිනෑනේ? ‘‘ඇයි මහත්තයා මක්වෙලාද?’’ ‘‘ඒවා කුණු රහයිනේ පරණ මාළු වගයක්ද කොහෙද? ‘‘මහත්තය මාළු අරන් ගියේ බල්ලන්ට කියලනේ. බල්ලන්ට උයපු ඒවා මහත්තයත් කාලා බැලූවාදැයි’’ මාළු වෙළෙන්දා ඇසීය. තමාගේ කට වැරදුණු බව දැනුණු හෙතෙම මුණිවත රකිමින් හිමින් සීරුවේ වෙනත් මාළු ලෑල්ලක් දෙසට පා එසැවීය.