කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
චණ්ඩියා බන්ඩියේ දමාගෙන චණ්ඩියා වීමට ගොස් නෝන්ඩි වූ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් ඇසේ.
එකක් දෙකක් දාගත්විට කොකු ද එකක් දෙකක් දානොගත්තොත් මිනිහා නම් නොවේ. එදාට මිනිහාට අමුතුම ආරූඩයක් වැහෙන්නේය. චණ්ඩියා බන්ඩියට දාගත් විට කොක්කට හේතුවක් අවශ්‍යම නොවේ. එය අහේතුවක් වීමට ද හැකිය.
එදා සිය නගරයට යතුරු පැදියෙන් ගියේ එකක් දෙකක් දාගෙනය. ඒ නිවසට අවැසි ද්‍රව්‍ය ටිකක් රැගෙන ඒමටය. ඒ අනුව ප්‍රධාන මාර්ගය අයිනේ යතුරු පැදිය නවතා වෙළඳසලකට ඇතුළු විය. එහි තිබූ භාණ්ඩවල මිල අස අසා ඔහු මුදලාලිත් එක්ක කොක්කක් දා ගන්න පටන් ගත්තේය. ඒ වෙළඳසල ඉදිරිපිට කොන්ක්‍රීට් තහඩුවලින් වැසුණු කානු පද්ධතිය උඩ සිටය. යතුරු පැදියේ යතුර එක් අතක ඇඟිල්ලකින් කරකව කරකව ඔහු මුදලාලිට බැණ වැදුණේය. ඒ එම වෙළඳසලේ ඇති භාණ්ඩවල මිල ඉහළ දමා ඇති බව කියමිනි.
ගතවූයේ විනාඩියකි. දෙකකි. ඔහු ඇඟිල්ලෙන් කරකව කරකවා සිටි යතුරු පැදියේ යතුර බිම වැටුණේය. වැඩේ කියනුයේ එම යතුර මාර්ගය අයිනේ වසා තිබුණු කොන්ක්‍රීට් ලෑලි දෙකක් අතර තිබූ හිදසකින් කානුවට වැටුණේය. එම කුඩා සිදුරින් ගැඹුරු කානුවට අත දැමිය නොහැකිව තිබිණ.
මේ සමගම ඔහුගේ වෙරි සිඳී ගියේය. බන්ඩියේ සිටි චණ්ඩියා පශ්චත් භාගයට පැන ගියේය.
බලන්නකෝ මුදලාලි මගේ බයිසිකලේ යතුර මේ කානුවට වැටුණානේ යයි කියමින් ඔහු මුදලාලිට කීවේය. මීට විනාඩි කිහිපයකට කලියෙන් තිබුණු රකුසු රළු ගතිය ඔහු කෙරෙන් පලා ගොස් තිබුණි. දැන් මුදලාලිගේ වාරයයි. දැන් තමුසේ මට ලොකු ටෝක් දැම්මනේ මට ඔය කානුවේ තියෙන යතුර ගන්න යන්නේ විනාඩියයි. ඒ වුණාට මම ඒක කරන්නේ නැහැ. තමුසෙලවගේ බොරු චණ්ඩින්ට පාඩමක් උගන්වන්න ඕන යයි කියමින් දැන් මුදලාලිගේ සද්දයයි. ඒ සද්දයට සමගාමීව ඔහුගේ බැගෑපත් බව වැඩි විය.
කානුවේ ඇති යතුර තමාට අරගෙන දෙන ලෙස ඔහු මුදලාලිට නොකළේ වැන්ඳ එක පමණි. ඔහුගේ බැගෑපත් ඉල්ලීම බැරිම තැන මුදලාලි වෙළඳසල තුළ තිබූ කම්බියක් ගෙන කානුවේ වැටුණු යතුර අරගෙන දුන්නේ විනාඩියට දෙකටය. ඒ යතුර ඔහු යතුරු පැදියට දමා යතුරු පැදිය පණ ගන්වා එතනින් මාරුවුණේ තමන් චණ්ඩියා බණ්ඩියේ දමාගෙන මේ තරම් අලි අමාරුවක කවදාවත්ම වැටී නැති බව මතක් කර කරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd