පෝද්දල සරත් ආනන්ද ගමගේ



බිරිඳට හොරෙන් පොඩි අඩියක් ගහන පොරක් යාළුවන් දෙන්නකුට සෙට් වී ලොකු  අඩියක් ගහන්න ගිහින් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන ගාලු‍ පුරවරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම පුද්ගලයා වඩු කාර්මිකයකුගේ අත් උදව්කරුවකු ලෙස රැකියාව කරන්නෙකි. ලොකු බාසුන්නැහේ බාරගන්නා ඕනෑම වැඩකට ඔහුගේ සහායකයා ලෙස මොහුද නිතැතින්ම සම්බන්ධ වේ. මත්පැනට ද දැඩිව ඇලු‍ම් කරන්නෙකි. ඒත් බොන්නේ බිරිඳට හොරාය. හීනියට අඩියක් ගහලා නොකර සද්ද ගෙදර යාම ඔහුගේ කැමැත්ත විය.
පසුගිය දි‍නෙක හෙතෙම පොඩියට සප්පායම් වීමේ බලාපොරොත්තුවෙන් වැඩ නිමවී ‘‘දැල්කඬේ”‍පැත්තට සේන්දු විය. එහිදී කුඩා අවදියේ සිට දැන හඳුනාගෙන සිටි මිතුරන් දෙදෙනකු හමුවිය.මිතුරෝ දෙදෙනා ඒ අවස්ථාව වනවිටත් අවශ්‍ය කළමනා මිලදී ගෙන සිටියහ. දැන් මේවා සප්පායම් වීමට පොට් එකක් අවශ්‍ය විය. දැල්කඬේ ආසන්න නිවසක පසුගිය දිනක සිවිලිමක් ගැසූ නිවස ඔහුට මතක් විය.


‘‘හරි මරු පොට් එකක් ළඟම තියෙනවා”‍ කියමින් ඔහු මිතුරන් දෙදෙනා සමග පසුගිය දිනක සිවිලිම ගැසූ නිවසට ගියේය.
ඒ නිවෙස් හිමියා ත්‍රීරෝද රථයකින් හයර් දුවන්නෙකි. ඔහු නිවසේ සිටම දුරකථන ඇමතුම් හරහා සේවාව ලබා දෙන්නෙකි. මිතුරන් තිදෙනා එම නිවසට යන අවස්ථාවේ ඔහු සිටියේ හයර් එකක් යන්න සූදානම් වීය. සිය බිරිඳගේ විරෝධයද නොතකා  පැමිණි පුද්ගලයාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා නිවසේ ඉදිරිපස කොටසට වී ඉක්මනින් සප්පායම් වී පිටව යන පොරොන්දුව මත ඔවුන්ට අවශ්‍ය වීදුරු ද ලබාදී ඔහු පිටව ගියේය.
නිවෙස් හිමියාගේ බිරිඳ ඉදිරිපස දොර වසාදැමූ අතර මිතුරෝ තිදෙනා ඉදිරිපසට වී මධු සාදය ඇරඹූහ. බොහෝ ඉක්මනින් ඔවුහු බෝතලයක් හිස් කළෝය. අපේ කතානායකයා ‘‘දැන් අපි යමු නේදැ”‍ යි අසන විටම යහළුවෝ තවත් බෝතලයක් මල්ලෙන් ඇද්දහ. එම බෝතලයේ  භාගයක් පමණ හිස්වන විට එක යාළුවෙක් සින්දුවක් පටන් ගත්තේය. අපේ කතානායකයා යහළුවන්ගේ සින්දු කීම නතර කරන්න උත්සාහ කළ ද බීමත්ව සිටි මිතුරන් නතර කිරීමට ඔහුට නොහැකිවිය.
නිවෙස් හිමි කාන්තාව දොර හැර ඔවුන්ට පිටව යන ලෙස දැනුම් දුන්නද බේබද්දෝ නෑසූ කනින් සින්දු කීහ. අපේ කතානායකයා මිතුරන් දෙදෙනා රැගෙන යාමට උත්සාහ කළද ඔවුහු ඊට අවනත නොවී නට නටා සින්දු කියන්නට වූහ.
එකවරම වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් එම නිවස ඉදිරිපිට නතර විය. එය ප්‍රදේශයේ පොලීසියට අයත් එකකි. ඉන් බැස පොලිස් නිලධාරීන් දෙදෙනකු හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත පැමිණි බවත් කෑවනම් බිව්වනම් පාඩුවේ පිටව යන ලෙසත් දැනුම් දුන්නේ ය. කෑවම බිව්වම එහෙම පාඩුවේ ඉන්නට නොහැකි බව පෙන්වමින් මිතුරන් දෙදෙනා පොලීසියෙන් ‘‘ගේම”‍ ඉල්ලීය. කෝපයට පත් නිලධාරීන් දෙදෙනා බීමතින් සිටි දෙන්නා  අල්ලාගෙන ත්‍රී රෝද රථයට ඔබා අපේ කතානායකයා ද නංවාගෙන පොලීසියට රැගෙන ගියේය.
වෙරි සිඳී තිබුණු ඔවුහු පසුදා මුදාහරිනු ලැබූහ. පොඩි අඩිය ලොකු අඩියක් වී තඩි මඩක් කෑ පුද්ගලයන් තිදෙනාගේ කතා වස්තුව දැන් මේ ප්‍රදේශයේ බොහෝ දෙනකු දන්නා අතර බීමතින් ලවක් දෙවක් නැතුව සිංදු කියන උන්ට මේක හොඳ පාඩමකැයි සිද්ධිය ඇසූවෝ පවසති.