හසලක සුනිල් ඒකනායක
මිතුරකු මිතුරකුගේ බිරියකට කළ විහිළුවෙන් ඇස් රතු වී තරුණ යුවළකගේ පවුල් ජීවිතයක් කඩා විසිරෙන තත්වයක් දක්වා දුර දිග ගිය පුවතක් හසලක නුදුරු ගම්මානයකින් වාර්තා විය.
තිස් හතර වියේ පසුවෙන ඔහු විහිළු තහළුවට බර අයෙකි. මොහුගේ ඇතැම් විහිළු නිසා ඔහු මෙන්ම හිත මිතුරන්ගේ ඇස් රතු වූ අවස්ථාද නැතිවා නොවේ. ඒ නිසාම මොහුට මිතුරන් විසින් විවිධ අන්වර්ථ නම් ද පටබැඳ තිබේ.
මෙදින මොහුගේ ඈත ගම් පළාතක මිතුරකු නගරයේ දී හමුවෙන්නේ බිරිඳ සහ දරුවා සමඟ යතුරු පැදියක නැගී ඥාති නිවසක් බලා යන අතර තුරේ දීය. යතුරු පැදියේ පැමිණි මිතුරාගෙන් ආ ගිය තොරතුරු විමසන අවස්ථාවේ දී ‘‘හා මේ කවුද?” යැයි පිටුපස අසුනේ සිටි කාන්තාව දෙස බලා විමසා තිබේ. මිතුරාගේ බිරිය ද මීට පෙර ඔහු දැක නැත. ‘‘මේ මගේ නෝනයි දරුවයි.” යැයි මිතුරා පවසා ඇත. ඒ සැණින් ඔහු ‘‘ඈ ගිය සතියේ සති පොළේ උඔත් එක්ක හිටියේ මේ නෝනා නෙවෙයි නේ. උඔ දිනපතා නෝනලා මාරු කරනවාද? නියමයි නේ මටත් ඔය ක්‍රමය කියා දීපන්කෝ.” යැයි ඇඟට පතට නොදැනීම පවසා ඇත.
එම වදනින් අපහසුතාවයට පත් මොහු මිතුරාගේ එම වාචාල ප‍්‍රශ්නයට පිළිතුරක් නොදී සිය යතුරු පැදිය පණ ගන්වාගෙන ඉදිරියට ගිය අතර බිරිය ද මොහුගෙන් විමසා ඇත්තේ මිතුරා මොකක්ද ඒ කියපු කතාව කියාය. ඔහු ඒ විහිළුවක් කළ බව බිරිඳට පැවසුවත් ඇය එය පිළි නොගත් අතර ඥාති නිවසට යෑම ප‍්‍රතික්ෂේප කළ ඇය සැමියාට පැවසුවේ පෙරළා නිවස බලා යමු කියාය.
පෙරළා නිවස බලා යන අතරේ ඇය සැමියා සමඟ කිසිවක් කතා නොකර ගමන් ගත් අතර නිවසට ගොඩ වූ සැණින් මිතුරා පැවසු සති පොළේ කතාව පිළිබඳව විමසා එම කතාව සත්‍යනම් තමන් තව මොහොතක්වත් මෙහි රැඳී නොසිට තම මව්පියන්ගේ නිවස බලා යන බව තරයේම කියා ඇය සිය සැමියා සමඟ ආරෝවක් පටන් ගත්තාය. එය අසත්‍යයක් බවත් මිතුරා කළේ විහිළුවක් බවත් ඔහු කොපමණ පැවසුවත් ඇය එය පිළිගත්තේම නැත. මෙම කතාව බොරුවක් බව තම බිරිඳට පවසන ලෙස දුරකතන ඇමතුමක් ගෙන මිතුරාට පවසා කිව්වත් බිරිඳ මිතුරාගේ ඇමතුම ගැනීමත් ප‍්‍රතික්ෂේප කළාය.
එදින රාත‍්‍රියට ආහාර පිසීම පවා අතහැර දමා හැඩූ කඳුළෙන් රැය පහන් කළ ඇය ප‍්‍රශ්නයට විසඳුමක් නොමැති නිසා ඇය සිය කුඩා දරුවා ද රැගෙන සිය මවගේ නිවස බලා යාමට තීරණය කළාය. එහි යෑම සඳහා කුලියට ත‍්‍රීරෝද රථයක් ගෙන්වා ගෙන එයට දරුවාත් රැගෙන ගොඩ වීමට සුදානම් වෙනවාත් සමඟම පෙර දින හමු වූ මිතුරා සිය යතුරු පැදියේ නැගී එම නිවසට පැමිණියේය. යතුරු පැදියෙන් බැස ත‍්‍රීරෝද රථය අසලට ගොස් ‘‘අනේ නංගියෝ මට සමාවෙන්න. මම ඒ වෙලාවේ ඔයාට විහිළුවක් නේ කළේ. ඔයා මේ වගේ විහිළු නොරිස්සන කෙනෙක් බව දන්නවා නම් විහිළුවක් තියා වචනයක්වත් කතා කරන්නේ නැහැ. මම නිසා ඔයාලාගේ පවුලේ සාමයට බාධාවක් වුණා නම් අනේ මට සමාවෙන්න. අනේ මචං මට සමාවෙයන් මම කවදාකවත් ආයේ නම් මේ වාගේ විහිළු කරන්නේ නෑ.” යැයි මිතුරාටත් ඇයට පවසා නැවත යතුරු පැදියේ නැගි පෙරළා යන්නට ගියේ ආයේ නම් මේ වාගේ විහිළු කිසිම කෙනකුට නොකරන බවට තමන්ටම පොරොන්දු වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd