(ඌරගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)
දකුණු පළාතේ එක්තරා පාසලක දොළොස් වැනි ශ්‍රේණියේ ළමයකුට විදේශගතව සිටින මවගෙන් නවීන පන්නයේ යතුරුපැදියක් ත්‍යාග වශයෙන් ලැබිණ.
යතුරුපැදිය මිලදී ගත් දිනයේ පටන්ම සිසුවා මිතුරන් සමග සවසට ගම පුරා පදින්නට විය. පැදිකරු ආරක්ෂක හිස් වැසුමක් පැලඳ සිටිය ද මගදී හමුවන මිතුරන් හිස් වැසුමක් නැතිව සිය යතුරුපැදියේ නංවාගෙන රවුමක් යාමට සිසුවා පුරුද්දක් කරගෙන සිටියේය.
දිනක් ප්‍රධාන මාර්ගයේ හිස් වැසුමක් නොමැති මිතුරකු සමග යමින් සිටියදී මාර්ගය අසල පොලිස් රථවාහන පරීක්ෂා කරන නිලධාරීහු දෙදෙනෙක් ද සිටියහ.
‘‘පොලිස් බයිසිකල්වලට අපේ බයිසිකලේ එක්ක හැරෙන්නවත් බැහැ. අපි මුන් දෙන්නට නක්කලයක් දාමුද?’’ යැයි මිතුරාගෙන් ඇසූ විට කෙළිලොල් වයසේ සිටි මිතුරා ද ඊට එකඟ වූයේය.
යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව වැනි වැනී ධාවනය කරන්නට මිතුරෝ දෙදෙනා තීරණය කළහ. පොලිස් නිලධාරින් යතුරුපැදිය නතර කරන ලෙස අණ කළහ. සිසු දෙදෙනා යතුරුපැදිය නතර කරන්නට මෙන් පැමිණ එක් වරම වේගයෙන් ඉදිරියට ධාවනය කළේය. පිටුපස අසුනේ සිටි සිසුවා ‘‘හා... රාළහාමිලා..’’ යනුවෙන් විහිළුවක් ද කළේය.
පොලිස් යතුරුපැදිය ඔවුන් පිටුපස ලුහුබඳින්නට විය. කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ සිසු දෙදෙනා අතුරු මාර්ගයකට යතුරුපැදිය හැරවූහ. ඔවුන්ට යාමට හැකි වූයේ කෙටි දුරකි. යතුරුපැදියේ දෝෂයකින් යතුරුපැදිය නතර විය.
පොලිස් නිලධාරීන් ඔවුන් අසලට පැමිණ ‘‘හා... මල්ලිලා...’’ යනුවෙන් අමතමින් යතුරුපැදියත් සමග සිසුන් දෙදෙනා පොලිසියට රැගෙන ගියේය.
අණ නොතකා ධාවනය හා සෙසු වැරැදි වෙනුවෙන් වූ දඩ මුදල් ගෙවීමට සිසුවාගේ පියාට සිදුවූ අතර ඔහු වහාම යතුරුපැදිය විකුණා දැමීමට තීරණය කළේ සිය පුත්‍රයා ඉදිරියේදී තව මොනවා කර ගනීවිදැයි කියන සිතිවිල්ලත් සමගය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමා කරන්න ඕන.. අම්මල මුදල් එවන්නෙත් මහන්සියෙන් ඉපයූ දේ.. වැඩිපුරම දරුවන්ගේ අධික බල කිරීමට මාපියන් මුදල් එවනව.. පියා කලේ හරි දේ..