ත‍්‍රීරෝද රථ රියදුරකු වන ඔහු වෙනත් ත‍්‍රීරෝද නැවතුමක මිතුරෙක් හමුවී ”මචං මට හොඳ ගැහැණු ළමයෙක් සෙට් කරලා දීපන්කෝ” යැයි පැවසීය. ”මම උඹට නොම්මරයක් දෙන්නම්. කෙල්ල සෙට් කර ගන්න එක උඹේ වැඩක්. ඒ ගර්ල් ටැමිල්” මිතුරා කීය. දුරකතන අංකය ලබාගත් තරුණයා පසුව ඇමතුමක් ගත්විට මිහිරි කටහඬකින් දමිළ බසින් යාර් පේසරැදු? (කව්ද කථා කරන්නේ) යනුවෙන් ඇසිණි. මෙය තරුණයාට අණ්ඩර දෙමළයක් විය. ”හූ ඉස් ස්පීකින් ප්ලීස්” ඇය ඉංග‍්‍රීසියෙන්ද විමසුවාය.
දුරකතනය විසන්ධි කර ඔහු  අසල නිවෙසක සේවය කරන මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා හමුවූයේ ඔහුට ඉංග‍්‍රීසි දැනුමක් ඇති බැවිනි. ”මාමා මම සිංහලෙන් කියන ඒවා ඉංග‍්‍රීසියෙන් එස්.එම්.එස්. කරලා දෙන්න පුලූවන්ද?” ඔහු විමසීය. සිම්පල්නේ, යැයි පැවසූ මාමා තරුණයා පවසන දේ ඉංග‍්‍රීසියට හරවා කෙටි පණිවිඩ මගින් තරුණියට යැවීය. ඒවාට ලැබෙන පිළිතුරු මාමා විසින් සිංහලට හරවන ලදි. දිනපතා කෙටි පණිවිඩ හතරක් පහක් තරුණියට යැවූ අතර, යවන එක් පණිවිඩයකට රුපියල් විස්සක් අවශ්‍ය බව මාමා පැවැසීය. ඒ අනුව දිනකට රුපියල් අසූවක් පමණ මාමාට ලැබිණි. ඔහු ඒවා මත්පැන් සඳහා වැය කළේය. දිනක් තරුණයා ”මාමා මගේ තාත්තා විදිහට ගර්ල්ට කතා කරලා කියන්න, මගේ ජොබ් එක මෝටර් සයිකල් පාට්ස් කඩවලට දාන එක කියලා”. ඒ අනුව මාමා තරුණයාගේ දුරකතනයෙන් ඇමතුමක් දී ඒ බව පැවැසීය. ඇමතුමකට මාමා රුපියල් සීයක් අය කළේය.
මාස තුනක් ගතවිය. දිනක් දුරකතන අංකය ලබා දුන් මිතුරා මුණගැසුණු තරුණයා, ”මචං එස්.එම්.එස්. වලටයි කෝල්ස්වලටයි දැනට මම රුපියල් පහළොස් දහකට වැඩියෙන් මාමාට දීල තියනවා” යැයි කීය. එවිට මිතුරා ”උඹ ඉංග‍්‍රීසිවලට නයිට් ක්ලාස් එකකට ගියානම් ඔච්චර සල්ලි යන්නෙත් නැහැ, මේ වෙනකොට උඹට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්නත් පුළුවන්” යැයි පැවසීය.