එය මීටරයක් සවි කරන ලද ත‍්‍රිරෝද රථයකි. ටයි පටියක් පැළඳි තරුණ මහතෙක් හවස් වරුවේ එයට ගොඩවිය. ‘‘ඉස්සරහට යමු’’ හෙතෙම පැවසූ විට මීටරය ක‍්‍රියාත්මක කළ රියැදුරා ගමන ආරම්භ කළේය.


තම සේවා ස්ථානයට පැමිණි තරුණ මහතා, පොඞ්ඩක් ඉන්න මං ටක්ගාලා එන්නම් යැයි පැවැසීය. මීටරයේ රුපියල් හැත්තෑවක් සටහන්ව තිබිණි. මීටර් ත‍්‍රිරෝද රථයකින් පාරිභෝගිකයකු ගමණක් ගොස් නැවත පැමිණෙන තුරු නවත්වා සිටින විට පොරොත්තු ගාස්තු විනාඩියකට රුපියල් දෙකක් ගාස්තුවට එකතු වේ. පැය භාගයක් ගතවිය. තරුණයා පැමිණියේ නැත. පොරොත්තු ගාස්තු වශයෙන් රුපියල් හැටක් එකතු වී තිබිණි.


රියැදුරා අසල සිටියකු අමතා ‘‘දැන් බලන්න මහත්තයා කීවේ ටක්ගාලා එන්නම් කියලා. දැන් පැය භාගයක් ගිහිල්ලා. ‘වෙයිටින්’ වැටෙනවා තමයි. ඒ වුණාට මේ පැය බාගෙට පාරේ හිටියා නම් රුපියල් තුන්සීයකටත් වැඩියෙන් හොයලා’’ ඔහු පැවැසීය. ස්වල්ප වේලාවකින් නැවත පැමිණි තරුණයා රියැදුරාගේ පිටට තට්ටුවක් දමා, මල්ලී තව ටිකක් යැයි පවසා යළි ඇතුළට ගියේය. ‘‘මම කැමතිම නැහැ ඔය වගේ හයර් යන්න’’ රියැදුරා නෝක්කඩු ස්වරයෙන් අයකුට කීය. පැයක් ගතවිය. රුපියල් හැත්තෑවේ ගාස්තුව රුපියල් එකසිය අනූවක් බවට පත් වී තිබිණි. ‘‘එහෙනම් අපි යමු’’ තරුණ මහතා රථයට ගොඩවෙමින් පැවැසීය. ත‍්‍රිරෝද රියේ පසුපස අපූරු වදන් පෙළක් සටහන් වී තිබිණි.


‘‘යන්නෙත් නැහැ. ගියත් ඉන්නත් බැහැ, ඒත් ටක්ගාලා එන්නම් හොදේ’’


(ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුර)