බිත්තරයකින් රුපියල් දෙකක  ලාභයක් සොයාගිය පුද්ගලයකුට රුපියල්  400 ක්ම අහිමි කර ගැනීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ  ගම්මානයකින් වාර්තා වෙයි. දැන ගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේයි.
ගෙවී ගිය උත්සව කාලයේ නිවෙස්වල ආහාර සකස් කිරීමටත් විවිධ රසකැවිලි සකස් කිරීම සඳහාත් බිත්තර භාවිතා කරනු ලබයි. අපගේ මේ කතානායකගේ බිරිඳ ද උදෙන්ම ඔහුට කීවේ කඩයට ගොස් බිත්තර  දහයක් ගෙන එන ලෙසයි. වැඩි ලෝභකමක් දක්වන ඔහු එදින නගරයටද යාමට ඇති බැවින් නිවස අසල වෙළඳසලේ බිත්තර මිල අහගෙන නගරයට යාමට තීරණය කළේය.


නිවස අසල වෙළඳසලේ බිත්තරයක මිල රුපියල් 42 ක් විය. ඒ මිල මතක තියාගෙන නගරයට ගිය ඔහු නගරයේ ඔහුගේ වැඩ අවසන් කිරීමෙන් පසුව බිත්තර විකුණන වෙළඳසල් සොය සොයා ඇවිද්දේ කීයක් හෝ අඩුවෙන් බිත්තර මිල දී ගැනීම සඳහාය. ඔහු සිතුවා හරියට හරිය. ගමේ  කඩේට වඩා නගරයේ බිත්තර මිල රුපියල් දෙකකින් අඩුය. ඔහුට  ඉහේ මලක් පිපිණ. බලන්න  ගමේ කඩේ මුදලාලි අපිව කොච්චර නම් හූරගෙන කනවාදැයි ඔහුටම කියා ගනිමින් ඔහු නගරයේ වෙළඳසලෙන් බිත්තර 10 ක් මිල දී ගත්තේය. ඔහු මිලදී ගත් බිත්තර ඇතුළු තවත්  බඩු මල්ලක් ද රැගෙන ගමට යන බස් රථය අල්ලා ගැනීමට පැමිණියේය. ඔහු එන විට එම බස් රථය අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. ඔහු බස් රථයට නැග එක් ස්ථානයක හිට ගත්තේය. ටික වේලාවකින් බස් රථය පිටත් විය. මාර්ගයේ බස් රථය ගමන් කරද්දී පැද්දී පැද්දී ගමන් කළේය. බස් රථය පැද්දෙන් සෑම විටම ඔහුගේ අතේ ඇති බිත්තර මල්ලද පැද්දෙන්නටත් ආසනවල ගැටෙන්නටත්  විය. ඒ සෑම අවස්ථාවකදීම බිත්තර මල්ලෙන් ‘කරස් කරස්‘ යන හඬ නිකුත් වෙමින් තිබිණ. බස් රථය ගමට ළඟා වෙද්දී මගීන් අඩු වූ අතර ඔහුට වාඩි වීම සඳහා ආසනයක් ලැබිණ. බස් රථයේ වාඩි වූ විට බිත්තර මල්ල තෙත්ව ඇති අයුරු ඔහුට දැණින. ඒ පිළිබඳව  සොයා බැලීමේදී ඔහුට දැක ගන්නට ලැබුණේ නගරයෙන් මිලට ගත් බිත්තර දහයම කැඩී ගොස් ඇති අයුරුයි. ඔහු හිසේ අත ගහ ගත්තේය. මදැයි රුපියල් දෙකක් අඩුවෙන් බිත්තර ගන්න ගියා යැයි ඔහු ඔහුටම කියා ගත්තේය. බස් රථයෙන් බැස බිඳී ගොස් තිබූ බිත්තර සියල්ල විසි කර දමා ගමේ කඩෙන් බිත්තර 10 ක් නැවත මිලට ගෙන ගෙදර ගියේ කිසිවක් නොවුණා හා සමානවය.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්