කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මුහුණට මුහුණ මුණ නොගැසුණත් මුහුණු පොතෙන් මිතුරු වූ විදෙස් ජාතික මිතුරා කැපූ කැටයමෙන් මුහුණ බෙරි වූ මෙරට මිතුරියක ගැන අසන්නට ලැබෙන්නේ අහුන්ගල්ලෙනි.
මුහුණු පොත ඇයට හුරුය. පුරුදුය. එහි සැරිසරන්නේ කාලයකම සිටය. ඉඩක් ලද සැණින් ඇය යන්නේ මුහුණු පොතටය. මුහුණු පොතට ගිය සැණින් ඇයගේ මුහුණට සිනහව එන්නේ මුහුණ කෝපි මලක් මෙන් දිලිසෙමිනි.
මුහුණු පොත අතපත ගාමින් සිටින ඇයට විදෙස් රටක තරුණයෙක් මාට්ටු විය. මේ බුවා චීනේය. දෙරටේ සිටියත් දෙන්නට දෙන්නා කතා බස් කර ගත්තේ මුහුණු පොත හරහාය. ඒ හරහා කෙටි පණිවිඩයන් ද හුවමාරු වූ අවස්ථා නැත්තේ ද නොවේ.


පොඩි පොඩියට ආරම්භ වූ මේ ඇයි හොඳැයිය ලොකුවීමට ලොකු කාලයක් ගත නොවීය. චීනා ඇය බැලීමට සිරි ලංකාවට එන බව කීවේද මේ අතරය. ඔහු ඇය බැලීමට දෙඅත වන වනා ඒමට කැමති වූවේ නම් නැත. ඒ නිසාම ඇය බැලීමට එන ගමනේ දී ඇයට අවශ්‍යයි කියූ සබ්බ සකල මනාවම චීනා මිලදී ගත්තේය.
එය මුසාවක් නොවූවේ ඒ ගත්තු සෑම ද්‍රව්‍යයක්ම ඇයට චීනා මුහුණු පොත හරහා පෙන්නුවේය. ලක්ෂ විසිපහක බඩුය. ඇයට සතුටුය. චීනා බදාගෙන උම්ම එකක් දෙන තරමටම සතුටුය.
චීනා ඇයට ගත්තු බඩු භාණ්ඩ පෙට්ටියක ඇසුරුවේය. එහි ඔහුගේ නම ගසා ඇයගේ නිවසේ ලිපිනය ලිව්වේය. මේ ලිපිනය ලියූ බඩු පෙට්ටියේ ද ඡායාරූප සහ වීඩියෝ චීනා අපේ කෙල්ලට පෙන්නුවේය. කෙල්ලට යළිත් සතුටුය. ඇත්තටම චීනා ලංකාවට ආපු සැණින් ඔහුව හාදු වැස්සකින් තෙමන බවට ඇය ඉටා ගත්තාය.
 ඒ විතරක්ම නොව චීනා තමන්ට සිරි ලංකාවට ඒමට ගැසූ වීසා සහිත ගුවන් ගමන් බලපත්‍රයේ ඡායාරූප ද ඇයට දැක ගන්නට සැලැස්සුවේය. එය දුටු ඇයට ලංකාවට පැමිණෙන චීනාට ඔහු ඇගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට තරම් ආදරයක් උපන්නේය.
මෙය මෙසේ සිදුවෙද්දී චීනා ඇයට කීවේ තමා රැගෙන එන බඩු පාර්සලයට ගුවන් තොටුපොළට ලංකා මුදලින් රුපියල් ලක්ෂ පහක් පමණ බැඳීමට සිදුවෙන බවය. තමාට චීනයේ සිට එය කළ නොහැකි හෙයින් මේ මුදල තමා එවන ගිණුම් අංකයට බැර කරන ලෙස චිනා ඇයගෙන් ඉල්ලා සිටියේය.
ඇය එයට එක පයින්මය. එයට හේතුභූත වූ කාරණා දෙකකි. ඉන් පළමු වැන්න චීනා හැර ඇයට දැන් කෙනකු නැති ගානය. අනෙක ඒ ගිණුම් ගත කරන මුදල චීනා ලංකාවට පය ගැසූ සැණින් දෙනුයේ ඇමරිකානු ඩොලර්වලිනි. එකට එකක් එක්කය. කතා දෙකක් නැත ඇය ලක්ෂ විසිපහක තිහක බඩු පාර්සලය ගන්න රුපියල් ලක්ෂ පහක් වියදම් කළත් මොක ද ඇය විතරක්ම නොව ඇයගේ මවුපියෝ ද එලෙස කල්පනා කළෝය. චීනා හපනා බව ඔවුහු දත්තෝය.
අතේ තිබූ මුදලත් මදිපාඩුවට කණකර ආභරණත් ඔවුහු උකසට තබා චීනා මුහුණු පොතට එවූ ගිණුම් අංකයට දැමූහ. දැන් ඔවුන් බල බලා සිටියේ චීනා ලංකාවට එන දවසය. ඔහු රැගෙන එන බඩු පාර්සල දිහාය. චීනා එන පාටක් නැත. අඩු තරමින් ඔහු මුහුණු පොතෙන්ද ඇය සමග මුහුණට මුහුණ බලා කතාවක් ද නැත. චීනාට දැමූ සල්ලි ගැන දැන් සිරි ලංකාවේ සිරියාවිට උණ හෙම්බිරිස්සාව හැදී තිබේ. එය ඔවුනගේ මවුපියන්ටද බෝවී සහලෝල උණ දක්වා වර්ධනය වී ඇති බව ද ආරංචිය.