හක්මණ විශේෂ – දෙනගම යසන්ත ආරියසේන
ගමේ පැවැත්වෙන වෙසක් දන්සල සඳහා කාන්තාවක විසින් පරිත්‍යාග කළ පරිප්පු කිලෝ එක දන්සල නිමවී දින කිහිපයකට පසුව එම ප්‍රදේශයේම වෙළෙඳ සලකින් එම කාන්තාවටම අලෙවි කර ඇති අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
මහා පරිණත දැනුමක් ඇති යැයි හුවා දක්වමින් ආගම දහම පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන පිරිසක් එක්තරා ගමක ජීවත් වූහ.
මෙම පිරිස අතර සිටි බොහෝ දෙනකු ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කළ අතර, වෙසක් පොසොන් සහ අනෙකුත් ආගමික ලෙස වැදගත් වන සෑම දිනයකම ඔවුහු විවිධ ශිර්ෂ පාඨ යොදා ගනිමින් විවිධ උත්සව සංවිධානය කරති.
මෙවර එම පිරිස පොසොන් කලාපයක් සංවිධානය කළ අතර, දන්සල්, තොරණ, භක්තී ගීත, මැජික් දර්ශන, භුත ගුහාව, සර්කස් සංදර්ශන ආදි විවිධ අංග යොදා ගනිමින් ඔවුන්ගේ ආදායම් මාර්ග තරකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූහ. පොසොන් කලාපය ආරම්භවීමට සති කිහිපයකට පෙරම ඒ සඳහා පූර්ව ප්‍රචාරක කටයුතුද යුහුසුළුව සිදුකළ අතර, ආධාර මුදල් සහ ද්‍රව්‍ය එකතු කිරීම සඳහා ගම් දනව්වල සංචාරය කිරීමට ද සංවිධායකයෝ අමතක නොකළහ. පොල් ගෙඩියේ සිට හාල් මිටි ගණනින් පරිත්‍යාග ලැබුණු අතර, ඒවා එක් සංවිධායකයකුගේ වෙළෙඳ සලේ පිටුපස තිබු කාමරයක ගබඩා කර තැබුවේය.
දින දෙකක් දන්සල පවත්වා ධර්ම දේශනාවක්ද පවත්වා වෙසක් කලාපය අවසන් කළ අතර, ලැබුණු ආධාර සහ ද්‍රව්‍ය පිළිබඳව විස්තරයක්ද සංවිධායකයින් විසින් ඉදිපත් කරන ලදී. දින දෙකකට පමණ පසු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් පරිත්‍යාග කළ කාන්තාව දන්සල් බඩු ගබඩාකර තිබූ වෙළෙඳ සලෙන් පරිප්පු කිලෝ එකක් මිලදී ගත්තේ නිවසේ පරිභෝජනය සඳහා රැගෙන යාමටය. පරිප්පු ටික නිවසට රැගෙන ගොස් භාජනයකට දැමීමට සුදානම් වනවිට කාන්තාවගේ ඇස් උඩ ගියේය.
කඩදාසි කැබැල්ලක තමාගේ නම සහ ලිපිනය සඳහන් කරමින් දන්සලට භාරදුන් පරිප්පු ටික තමාටම අලෙවි කර ඇති බව වැටහීමට ඇයට වැඩි වේලාවක් ගත නොවුවාය. යක්ෂාරුඪ වූ කාන්තාව පරිප්පු ටිකද රැගෙන විදුලි වේගයෙන් වෙළෙඳ සල වෙත ගියාය. පාරිභෝගිකයින් කිහිප දෙනෙකු වෙළෙඳ සලේ සිටියදීම කාන්තාව ලුණු ඇඹුල් සහිත දේශනාවක් සිදුකරමින් මුදලාලිගේ සායම දියකර හැරියාය.
මුදලාලි සහ බිරිය, කාන්තාව මෙල්ල කර ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය අසාර්ථක වූහ. කාන්තාවගේ මුඛරි බව හේතුවෙන් කතාව ප්‍රදේශය පුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවූ අතර අනෙකුත් සංවිධායකයින් පැමිණ සිදුකළ දැඩි දෝෂාරෝපණ අඩුවක් නැතිවම දෙදෙනාට ලැබුණු අතර මුදලාලි සහ බිරිය වෙළෙඳ සල වසා දමා බිරියගේ ගමේ ගොස් ඇති බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd