කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
සිංහල අලුත් අවුරුද්දට ආයතන ප්‍රධානියා සතුටු කිරීම සඳහා වල් ඌරු මස් සංග්‍රහයක් පවත්වා අන්තිමටම සවුත්තු වී ගිය සේවකයකු පිළිබඳ රජරට ප්‍රදේශයෙන් දැනගන්නට ලැබුණේය.
කතාව මෙසේය.
කොළඹ ප්‍රදේශයේ ආයතනයක ප්‍රධානියකු සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් තම ආයතනයේ සේවය කරන උතුරුමැද ප්‍රදේශයේ කනිෂ්ඨ සේවකයකුගේ ආරාධනයෙන් සිංහල අලුත් අවුරුද්දට දින කිහිපයකට පසුව එම ප්‍රදේශයේ ඔහුගේ නිවෙසට ගියහ.
විශේෂයෙන්ම එහි යාමට ප්‍රධානම හේතුව වූයේ තමා යටතේ සිටින කනිෂ්ඨ සේවකයාගේ දඩමස් පිළිබඳ කයිවාරුව නිසාමය. වල් ඌරු මස් ඇති පදම් කෑමට සහ රැගෙන ඒමට සකසා දෙන බව පැවසීමෙන් උද්දාමයට පත් ආයතන ප්‍රධානියා වැව් බැඳි රජරටට ඉගිල ගියේ දෙතොල් ලෙවකමිනි.
ඉර බැහැගෙන ගොම්මන් කළුවරට ආසන්න වෙද්දී කොළඹ කට්ටිය ගමට සේන්දු වූහ.
ගමේ සිටි කනිෂ්ඨ සේවකයාගේ ආචාර සමාචාර මැද්දේ පිළිගැනීමට ලක් වූ පිරිස රාත්‍රී කෑමට සූදානම් වීමට ලහි ලහියේම වැවට ගොස් නාගෙන ඔහුගේ නිවසට පැමිණ වල් “ඌරු මස් සාදයට” සැරසී ගෙවත්තේ මනරම් අඹ ගසක් යට පශ්චාත් භාග ඉන්දවා නොඉවසිලිමත් වූහ.
සේවකයා විසින් නිවසට රැගෙන හා වල් ඌරු මස් කිලෝ තුනක් ඔහුගේ පියාට භාරදී ලුණු මිරිස් පදමට දමා “ඉස්ම” නොමැතිව උයන ලෙස උපදෙස් දී තිබූ අතර සේවක පුත්‍රයා එම මස් රැගෙන ඒමට කුස්සියට ගියේය.
වල් ඌරු මස් පිඟන් කීපයකට පුරවාගත් සේවක තෙමේ, සිනාමුසු මුහුණින් ආයතන ප්‍රධානියා අභිමුවට පැමිණ සාංඝික දානයක් සේ ඔහුගේ ප්‍රධානියාට පිළිගැන්වීය.
“චියර්ස්” කියමින් පිරිස පළමු පියවර පසු කළහ. ගත වූයේ ඉතා කෙටි නිමේෂයකි. “තුහ්, තුහ්” යන ශබ්දය කටින් පිට කරමින් ආයතන ප්‍රධානියා ඇතුළු පිරිස කෙළ ගසන්නට වූහ.
සිදුවී ඇති මේ විපිරියාසය කුමක්දැයි සේවකයා පරීක්ෂා කළේ විදුලි පන්දමක් වල් උරු මස් පිඟානට දල්වමිනි.
“දෙයියෝ සාක්කි” යැයි ඔහුට ඉබේටම කියවිණි.
ඔහුගේ පියා විසින් උයන ලද වල් ඌරු මස්වල කළු පැහැති කුඩු විශේෂයක් ඇලී තිබෙන අයුරු ඔහුට පෙනුණි.
වහාම තම පියා එතැනට කැඳවා ඔහු කෝපයෙන් මේ පිළිබඳව ඔහුගෙන් විමසීමේදී පියා ඔලුවේ අත ගසා ගත්තේය.
“අනේ පුතේ, මම ඕක උයද්දි, කීප සැරයක්ම ලයිට් ගියා. මගේ අතපසුවීමකින් මිරිස් කුඩු වෙනුවට මම තේ කොළනේ දමලා තියෙන්නේ. හත් දෙයියනේ, මට සමාවෙන්න.”
එදින වල් ඌරු මස් එක කෑල්ලක්වත් කොළඹ කට්ටියට කෑමට නොහැකි විය.
අවුරුදු පාටිය අන්තිමටම සවුත්තු වෙලා එදින රාත්‍රියේම කොළඹ මහත්තුරුන් පැමිණි සැප වාහනයේ රෝද කොළඹ දෙසට කැරකුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd