මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම



සැප සම්පත්වලින් ප්‍රයෝජන නොගන්නේ ඇයි දැයි අසන්නට ගිය ආයතනයේ සේවිකාවන් පිරිසකට සේවිකාවක ක්‍රියාවෙන් පෙන්නා දුන් උත්තරයෙන් ඔවුන්ගේ දත කට පූට්ටු වූ පුවතක් ඇතුගල්පුරවරයට අයත් නගර සීමාවක ගමකින් අසන්නට ලැබුණි.
එළඹුණු අවුරුදු නිමිත්තෙන් ආයතනයට ලද නිවාඩුව නිසා එහි සේවිකාවෝ පිරිසක් තම හිතවතියකගේ නිවසට පැමිණිය හ.
ඒ අවස්ථාවේ දී ඇය නිවසේ සිටියේ නැත. එහෙත් ඇයගේ පොඩි පුතා පමණක් සිටියේය.
ඔවුන් ආ බව පුතු අම්මාට දැනුම් දුන්නේය.
“අනේ පුතේ මම මේ ළඟ ගෙදරකට ආවා ටක් ගාලා එන්නම්. එනකම් ඒ අයට සාලයට ඇවිත් වාඩිවෙන්න කියන්න”‍. අම්මා කීවාය.
ඒ අනුව ගෙට ගිය ඔවුහු ඇයගේ ගේ ඇතුළත සේම පිටතද සිරි නැරඹූහ.


“මේ බලපල්ලකෝ මේ රයිස් කුකර් එකෙන් ජීවිතේට උයලා නෑනේ. මෙන්න මිරිස් ගල ඒකත් කාලයකින් පාවිච්චි කරලා නෑ වාගේ. ඒයි මෙන්න කොමඩ් එක එක පැල්ලමක් නෑ. හදපු දා ඉදලා යන්නේ එළියේ ලැට් එකට වාගේ තමයි. සින්ක් එකත් වැඩක් ගත්තු වගක් පේන්නම නෑ. මේ ගෙදර නම් කිසිදාක බල්ලකුට බත් ටිකක් දීලත් නෑ. බල්ලාගේ පිඟානෙන් ඒක පේනවා.”‍ ඔවුහු ඇය නැති තැන දොස් නගමින් ආඩපාලි කීහ.
ඒ අතරේ ඇය ගෙට ගොඩ වූණාය.
“අඩේ උඹලා කනවා නෙමෙයි ලෙව කනවාද? ලෝබකම නැතිව මස් මාඵ උයලා කාලා මේ රයිස් කුකර්, කොමඩ් පාවිච්චි කරපල්ල කෝ, මැරුණාම ඒවත් අරගෙන යන්නද කල්පනාව”‍ හිතවතියෝ ඔච්චම් කරමින් ඇසූහ.
“මම කවදාවත් ඒවාට දුම් අල්ල අල්ලා පාවිච්චි නොකර ඉන්න එකියක් නෙමෙයි. මෙන්න අද උදේ මිරිස් ගලෙන් අඹරපු සම්බෝලේ. බලන්න. මෙන්න ප්‍රිච් එක මස්, මාඵ පුරවලා. අපේ ගෙදර බල්ලා කරවලවත් නැතිව නම් කන්නේ නෑ. බල්ලාට කෑම දීලා ඉතිරි ඒවා දමන තැන මෙන්න. බලපල්ලකෝ කොමඩ් එක දවස ගානේ මේ දියර දාලා හෝදනවා. ගේ තියා මිදුලේවත් රොඩ්ඩක් ඉතිරි වෙන්න ඉඩ තියන්නේ නෑ.
මේ පාර අවුරුද්දට රතිඤ්ඤා රෝල් දෙකක් අප්පයි, පුතයි ඉවර කෙරුවා. නමුත් බලපල්ලා පත්තු වෙච්ච එක රතිඤ්ඤා කොළ කෑල්ලක්වත් මිදුලේ නෑනේ. මම ඔපිස් එකට අඳින ස්කට්, බ්ලවුස් එක පාර අයන් කරලා හැන්ගස්වල දාලා අල්මාරියේ තියෙන හැටි මෙන්න”‍ ඇය උජාරුවට ඒ තැන් ඔවුනට එකින් එකට පෙන්නා සිටියාය.
මෙම තැනැත්තිය එම ගෙවල්වලටද යනවාය. ඒවායේ හා මෙහි ඇති සැබෑ වෙනස ඇයද දන්නවාය.
“උඹලත් මං වාගේ ගෙවල් පිරිසිදුවට හා පිළිවෙලට තියා ගන්න මගෙන්වත් ඉගෙන ගනිල්ලා.” ඇය කියා සිටියදී “මදැයි මසුරුකම් කියන්නට ගොස් අසා ගත්තු දේවල්”‍ ලැජ්ජාවෙන් යුතුව ඔවුන් ඉන් නික්ම ගියේ ඇය ඔවුන්ට කියූ දේවල් ඇයගේ සැමියාටත්, පුතාටත් ඇසුණු නිසාලු‍.