දකුණු පළාතට අයත් එක්තරා ගමක සිදු වූ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන ලියන ලද්දකි.
ජංගම දුරකතනයක් සිහිනයකින්වත් දැක නොතිබුණු එම වකවානුවේ පණිවුඩ හුවමාරුව සිදුවූයේ ලියුම් මාර්ගයෙනි. හදිසි දැනුම්දීමක් ලබාදුන්නේ විදුලි පණිවුඩ එහෙමත් නැත්නම් ටෙලිග්‍රෑම් හරහාය. මෙම පණිවුඩ ලබාදෙන තැනැත්තා තැපැල් පියුං මහතා විය. පියුං රාළහාමි කිව්වේ ද ඔහුටය. හෙතෙම ගමන් කළේ පාපැදියෙනි. එහි සවිකර තිබෙන සීනුව එහෙමත් නැත්නම් බෙල් එක මගින් පණිවුඩය ලබන්නා ළඟට කැඳවාගෙන පණිවුඩය ලබාදීම සිදුකෙරුණි. පණිවුඩයක් ලැබෙතැයි විශ්වාසයෙන් සිටි අයට එකල මේ පියුං රාළහාමිගේ සීනු හඬ මහත් ආස්වාදයක් විය.
පියුං රාළහාමිලා ලෙස රැකියාව කළේ ද ප්‍රදේශයේම පදිංචිකරුවෝය. ඔවුන් ගමේ අනිත් මිනිසුන්ගෙන් වෙනස් වූයේ නම් මේ රැකියාව නිසා පමණි. දකුණු පළාතේ ගමක පදිංචිව සිටි අපේ කතානායක පියුං රාළහාමිද ගමේ ප්‍රසිද්ධ ‘බූරු’ කප්පිත්තෙකි. කාඩ් කුට්ටමේ මේ කොළ සූදුවට ඇබ්බැහිවී සිටීම නිසා හරිහමං ගෙයක් දොරක්වත් නොතිබුණු ඔහු පදිංචිව සිටියේද අතු පැලකය. බිරිඳ ඇතුළු දරු මල්ලෝද පියුං රාළහාමිගේ මේ බූරු ක්‍රීඩාවෙන් පීඩා වින්දහ.
දිනක් මාසික පඩිය ලබාගත් පියුං රාළහාමි කෙළින්ම පාපැදිය හැරෙව්වේ සූදු පොළ වෙතටය. මෙය මේ ප්‍රදේශයේ ජනප්‍රිය සූදු පිටියකි. එයට පොලීසියෙන් කිසි කරදරයක් නොවන බවට ද සූදු කෙළින්නන්ගේ විශ්වාසය විය.
එදා සම්පූර්ණ පඩි පතටම කෙළවා ගත් අපේ පියුං රාළහාමි පාපැදියද උකසට තබා සූදු කෙළියේය. ඒ මුදලද පරාජය වී පාපැදියද අහිමි විය. සූදුව අවසානයේ ජයග්‍රහණය කළ අය රාළහාමිට අනුකම්පා කර සුළු මුදලක් බැගින් ඔහු අත තැබූහ. බයිසිකලයක් ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ එම මුදලින් බෙල් එකක් මිලදී ගෙන හේ ගෙදර ගියේය.
පසුදා පයින්ම රැකියාවට ගිය ඔහු තමාගේ ලියුම් මල්ල ලබාගෙන එය කර මත තබා රැගෙන යමින් නිවෙස් කරා යමින් බෙල් එක හඬවා අදාළ පුද්ගලයා කැඳවා ලියුම් බෙදා දුන්නේය. බයිසිකලයක් නැතුව බයිසිකල් සීනුවක් පමණක් ශ්‍රවණය වීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වූ අතර සමහරුන් ඒ ගැන රාළහාමිගෙන් විමසා ඇත. ඔවුන්ට ලැබී ඇත්තේ කන්වල ඇඟිලි ගසාගන්නට සිදුවන ආකාරයේ පිළිතුරුය.
‘‘බයිසිකලේ නැති නිසානෙ වාහෙ පයිං යන්නෙ. තොට ඒ ගැන අමාරුනං මට මේ බැල් එක හයිකර ගන්න බයිසිකලයක් අරං දියං ?” වැනි උත්තර ඔවුන්ට ලැබී ඇත.
පසුව එම ගම්වාසීන්ට මේ බෙල් එක පමණක් අතින් හඬවන රාළහාමි අරුමයක්වී නැති අතර එය සාමාන්‍ය දසුනක් පමණක් විය. ඔහු විශ්‍රාම යන තෙක්ම බයිසිකලය නැතුව බෙල් එක පමණක් හඬවමින් ලියුම් බෙදා ඇති අතර මියයන තෙක්ම සූදු කෙලීමද නතර නොකළ බව එම ගම්වැසියෝ කියති.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව කොතරම් දුරකට සත්‍යක්දැයි නොදනිමි. නමුත් මාගේ දැනීමේ හැටියට ඔය කියන ආකාරයේ බයිසිකල් බෙල් එකක් අතේ තබාගෙන නාද කලවිට නැගෙන ශබ්දය ඉතා කුඩාය. ඇතැම්විට එය වෙනත් කෙනෙකුට නොඇසෙන තරම්ය. එයට හේතුව සීනුව අතේ තබා නාදකල විට එයට කම්පනය වීමට නොහැකි නිසා.