සුද්දියන් පිළිගන්නට මෙන් නිතර නිතර ඔවුන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන්න ගොස් අලි තොප්පියක් වැටුණු කැමරා ශිල්පියකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ඡායාරූපකරණයට දක්ෂයකි. අඩියක් පුඩියක් ගැසූ පසු ඔහුට කාන්තාවන් පෙනෙන්නේ දෙවඟනන් මෙනි. එදා ඔහුට ආරාධනා කළේ උත්සවයක ඡායාරූප ගැනීමටය. උත්සවය තිබුණේ හෝටලයක රාත්‍රී කාලයේය. දෙස් විදෙස් අය ද මෙහි ආරාධිතයෝ වූහ.
මේ උත්සවයට පැමිණ සිටි සුද්දියන් පිළිගත්තේ සිප වැළඳගෙනය. කාන්තා පිරිමි බේදයක් නැතිව එය එකසේම සිදුවිය. අපේ කැමරා ශිල්පියා ද එය දුටුවේය. උත්සවයේ ඡායාරූප ගැනීම අවසන්‍්ය. ඊළඟට තිබුණේ මධුවිත තොලගෑමය. මේ ඡායාරූප ශිල්පියාට ද ඒ සඳහා ආරාධනා ලැබුණේය. ෂොට් එකක් දෙකක් දා ගත්තේය. උත්සවයේ එහේ මෙහේ යන සුද්දියන් ඔහුගේ නෙතට රසදුනක් විය. සුදට සුදේ දිලිසි දිලිසි ඉන්නා සුද්දියක් සිප වැළඳ ගන්න ඇත්නම් හොඳ යයි ඔහුගේ සිතට ආවේය.


චණ්ඩියාත් බඩේ නිසා ඒ සඳහා ක්‍රමයක් කල්පනා කළේය. ටිකිරි මොළයට ඒ සඳහා ක්‍රමයක් ආවේය. ඔහු තමා ළඟින් ගිය සුද්දියකට අතට අතදී සිප වැළඳ ගත්තේ ආචාර සමාචාර කිරීමට මෙන්ය. සුද්දියට එය අමුත්තක් නොවුණත් ඔහුට නම් එය විශාල ආශ්වාද ජනක එකක් විය. සුද්දියන් දෙතුන් දෙනකුටම මේ ආචාර සමාචාරය ඔහුගේ අතින් සිදුවිය. මේ ආකාරයටම ඔහුගේ සමාචාරයට අහුනොවූ සුද්දියක් නැති තරම්‍ ය.
ඔහු නැවත නැවත සුද්දියන් සිප වැළඳගනිමින් ආචාර සමාචාර කරන්න ගියේය. සුද්දියන්ට මෙය කරදරයක් විය. ඒ නිසාම සුද්දියෝ මේ පිළිබඳව උත්සවයේ සංවිධායකයන්ට පැමිණිලි කළහ. එයින් නොනැවතුණු ඇතැම් සුද්දියෝ තමන්ගේ හිරි ඔතප් බිඳින්නේ යයි පොලීසියට පැමිණිලි කරන්නට ද සූදානම් වූහ. උත්සව සංවිධායකයෝ ඔහු සොයා ගෙන ආවෝය. ඔහු සුද්දියන්ට කළ හදිය ගැන කීහ. ඔහුට හොඳටම ලැජ්ජය. කාටත් හොරෙන්ම ඔහු එම උත්සවයෙන් පැනගෙන ඇත්තේ රාත්‍රී කෑමත් නොකා තමන්ගේ ගාස්තුවත් නොගෙනමය.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත