කුණු ගඳක් ඉවසා ගැනීමට නොහැකිව තම නිවසේ සිවිලිම ගලවා බිම දැමූ අඹු සැමි යුවළකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව කැබිතිගොල්ලෑව ප්රදේශයේ ගමකින් නොබෝදා දැනගන්නට ලැබුණි.
කතාව කෙටියෙන් මෙසේය.
එය නිරන්තරයෙන්ම වන අලි ගහනයට ලක් වූ ගමකි. සෑම ගෙවත්තක් වටාම ඉදිකරන ලද අලි වැටක් හෙවත් විදුලි වැටක් දැකගත හැකිය. ඇතැම් කාලවල දී විදුලි රැහැන් කැලයට ඇද නීති විරෝධී ආකාරයට වන අලින් ඇතුළු වන සතුන් ඝාතනය කරන අවස්ථා ද මෙම ගම්මානවල නැත්තේ නොවේ.
එම ගමේ සිටි අඹුසැමි යුවළ දින කීපයකට තම නිවසින් බැහැරව අනුරාධපුර නගරයේ සිටින ඔවුන්ගේ දියණියකගේ ගෙදර ගොස් සිටියහ. මෙම අඹුසැමි යුවළගේ නිවස පිහිටා ඇත්තේ ගම් ගොඩෙන් මදක් ඈතින් කැලෑවට ආසන්නයේය.
දින කීපයක් ඇවෑමෙන් දියණියගේ ගෙදරින් සමුගෙන රාත්රී අටට පමණ අඹු සැමි යුවළ ඔවුන්ගේ නිවසට සේන්දු වූහ. එදින දියණිය විසින් ඔවුන් දෙදෙනාට රාත්රී ආහාර වශයෙන් රසවත් කෑම පාර්සල් දෙකක් ද ඔතා දී තිබුණි.
නිවසට ඇතුළු වූ අඹුසැමියන්ට හුස්ම ගැනීමටත් අපහසු තරම් දැඩි අපුලක් ගෙන ආවේය. ගේ පුරාම අධික ගන්දස්කාරයෙන් පිරී තිබුණි. බිරියටත් සැමියාටත් වමනය එන තරමේ ගඳක් නිවසේ පිරී තිබුණි. ඔවුහු දෙදෙනා නිවසේ ජනෙල් විවෘත කළහ. එහෙත් ගඳ එන්න එන්නම වැඩි විය. දියණිය විසින් දුන් බත් පාර්සල් දෙක පසෙකට විසි කළේය.
‘‘හාමිනේ මේ ගඳ එන්නේ සිවිලිම උඩින් වෙන්න බැරිද? එකත් එකටම සිවිලිම උඩ තලගොයෙක් මැරිලා කුණු වෙලා ඇති” ඔව්මයි. අපි දෙන්නා සීවිලිම ගලවමු. නැතුව මේ ගෙදර එක මොහොතක්වත් ඉන්න බෑ”යනුවෙන් කථිකා කරගත් අඹු සැමි දෙදෙනා රාත්රියේම දිග ලී දෙකක් අතට අරගෙන සිවිලිමට ඇන එකින් එක බිම දැමූහ.
නිවසේ සියලුම සිවිලිමේ කොටස් ගලවා බිම දමා සෝදිසිකර බැලුවත් සිවිලිම උඩ කිසිදු සලකුණක් නොතිබුණි. අප්රසන්න ගඳ එන්න එන්නම වැඩි විය. සිවිලිමේ කොටස් කාමර වලින් මිදුලට විසිකොට ”මුඛවාඩම්”දමාගෙන එදින රාත්රිය ඔවුහු පහන් කළහ.
පසුදා උදෑසන ඔවුන්ගේ ගෙවත්තට ගමේ පිරිස සමග පොලිස් නිලධාරීන් සහ වන ජීවී නිලධාරීහු පිරිසක් ඇතුළු වූහ.
කාරණාව සොයා බැලීමේ දී ඔවුන්ගේ වැට මායිමේ කැලෑව තුළ කවුරුන් හෝ කෙනකු විසින් නීති විරෝධීව ඇද දමා තිබූ විදුලි රැහැනකට හසු වූ වන අලියකු මැරී කුණු වී ඇති බව ඔවුහු දැන ගත්හ.
වන අලියාගේ කුණු වූ සිරුර වළලා දැමූ නිලධාරීහු පිටත් වී ගියහ.
සිවිලිමේ හුටපටය ගම් ප්රදේශය පුරාම පැතිරී ගියේය. ‘‘අලියෙක් හින්දා අපට සිවිලිමත් අහිමිවුණා” යැයි කියමින් ඔවුන් සිවිලිම යළි සවිකිරීම සඳහා බාස් කෙනකු සොයමින් පසු වෙනවාලු.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd