කොන්දේ ආබාධයක් නිසා ඇඳටමවී සිටි පුද්ගලයකුට රාත්‍රී ආහාර වේලට සිය බිරිය සාදාදුන් කරවල බැදුමක් ආහාරයට ගැනීමෙන් අනතුරුව රෝගය සුවපත්වී පසුදා උදෑසන නැගී සිට ගෙවත්තේ වල්පැළ ගැලවූ පුවතක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
සිය දියණියන් දෙපළ විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචි වී ඇති බැවින් මහගෙදර වෙසෙන මාපිය යුවළකි. දෙදෙනාම රජයේ රැකියාවලින් විශ්‍රාම ලබා විශ්‍රාම වැටුපෙන් දරු දෙදෙනාට බරක් නොවී සතුටින් ජීවත් වෙති. නිවසේ වැඩ කටයුතුද දෙදෙනා එකතුව කර ගනිති.
හදිසියේම මේ නිවසේ ස්වාමි පුරුෂයාට කොන්දේ ආබාධයක් හට ගැනීමෙන් නිවසේ කාලසටහන ද සම්පූර්ණයෙන් වෙනස් විය.
ආබාධිතයාට ඇඳටම වී විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබූ බැවින් නිවසේ සියලු කටයුතු සිදු කළේ ඔහුගේ භාර්යාව විසිනි. වෙනදා දෙදෙනා හවුලේ උයාගෙන කෑවත් දැන් ඔහුට බිරිඳ සාදා දෙන කෑම අනුභව කිරීමට සිදුවී ඇත. හොඳට රසට ගුණට උයාගෙන කෑ ඔහුට දැන් දැන් බිරිඳගේ කෑම නීරසවී ඇත. දැවිල්ලට කෑම කෑ මොහුට බිරිඳගේ කෑමවල දැවිල්ල දැනුනේ නැත.
මේ හේතුවෙන් සාමකාමීව ගෙවුණු ඔවුන්ගේ දිවියේ යම් යම් සිත් බිඳීම් ද ඇතිවිය.”මේ කෑම දිය රහයි. කොච්චි කරලක්වත් දාල නෑ” කියමින් ස්වාමියා බිරිඳට ආඩපාලි කීවේය.
‘‘මේ තියෙන්නේ කොච්චි තමයි” කියමින් බිරිඳ ඔහුගේ පිඟානේ ඇති කොච්චි කරල් පෙන්නුව ද ඔහුට ඒවායේ සැර දැනුනේ නැත.
පසුගිය සති අන්තයේ ඉරිදා පොළට ගිය ගෙහිමි කාන්තාව සිය සැමියා වෙනුවෙන් නයි මිරිස් රැගෙන ආවාය. එදින රාත්‍රී සෑදු කරවල බැදුමට ඈ නයි මිරිස් කරල් දෙකක්ද කපා දැම්මාය. එදින නම් මනුස්සයාට හැබෑවටම දැවිල්ල දැනී තිබුණි. ඔහුට නයි මිරිස් කැවී ඇත්තේ කෑම පිඟාන අවසානයේදීය. දැවිල්ලේ තරම කියා පාමින් ඔහු පිඟාන ද පොළවේ ගැසීය. වතුර වීදුරු හත අටකින් කට සෝදා දැමුවද දැවිල්ල පහ නොවූ බැවින් බිරිඳට දෙස් දෙවොල් තබමින් සීනි අහුරක්ද ගිල දැම්මේය.
පසුදා උදෑසන තේ එකත් රැගෙන බිරිඳ කාමරයට යනවිට රෝගියා ඇඳේ සිටියේ නැත. පසුව සොයා බලනවිට ඔහු ගෙවත්තේ සිටිනු දැකගත හැකිවිය. ළංවී බලන විට ඔහු වත්තේ තිබුණු කොච්චි ගස් ගලවමින් සිටියේය. ඔහුගේ රෝගය සුවපත්වී තිබීම ගැන සතුටට පත් ඈ ඔහුට කැමැත්තක් කරගන්නට ඉඩහැර ‘‘තේ බොන්නැයි” කියමින් ගෙට පැමිණියාය.
කොන්දේ අමාරුව සුව කළ නයි මිරිස් දැමූ කරවල බැදුම පිළිබඳ කතාව දැන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය කතාවක් වී ඇත.
පෝද්දල සරත් ආනන්ද ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd