අවුරුදු පාටියකට ගොස් සප්පායම් වූ පුද්ගලයකු මුඛයෙන් වහනය වන ගඳ මකා ගැනීම සඳහා මිතුරෙකුගේ උපදෙස් මත බුලත් විටක් කෑම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ අගනගරයෙන් පසුගියදා වාර්තා විය.
හෙතෙම පෞද්ගලික ආයතනයක රැකියාව කළ මෑතකදී විවාහ වූ අයෙකි. තනිකඩ අවදියේ මත්පැන් සාදවලට සහභාගී වුවද විවාහයෙන් පසු ඒවාට සහභාගිවීම බිරිඳ විසින් තහනම් කර තිබුණි. සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තම මිතුරු කණ්ඩායම විසින් වාර්ෂිකව පවත්වාගෙන ආ සාදය මෙවර ද මිතුරකුගේ නිවසේ අවුරුදු උදාවට පසුදා රාත්‍රියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. “බොන පාටිවලට මම එන්නේ නෑ’’ යි කියමින් බිරිඳ ඊට සහභාගිවීම ප්‍රතික්ෂේප කළාය. වසරකට පසු මිතුරන් හමුවීමේ අවස්ථාවක් නිසා ඔහුගේ සහභාගිත්වයට ඇගේ අනුමැතිය ලැබී තිබුණු අතර ඒ කොන්දේසියක්ද සමගය. “ගියාට කමක් නෑ. හැබැයි බීල එන්න බෑ” ඒ ඇගේ කොන්දේසියයි. ගෙදර තත්ත්වය ගැන මිතුරන්ට පැවසීමේ දී ඔවුන් කිව්වේ “හරි හරි උඹ වරෙන් ඒවට බෙහෙත් අපි ළඟ තියෙනවා” කියාය.
ඒ අනුව නිවස අසලට පැමිණි මිතුරකුගේ මෝටර් රථයක නැගී ගොස් හෙතෙම අවුරුදු සාදයට සහභාගි විය. සාදය ඉතා ඉහළ මට්ටමින් සංවිධානය වී තිබූ අතර එය අවසන්වන විට මත්පැන් බෝතල පහ හයක්ම හිස්වී තිබුණි. රාත්‍රී ආහාරයෙන් පසු සාදය නිමාවූ අතර අපේ කතානායකයා බිරිඳට ඇති ගෞරවය නිසා මත්වී සිටියේ නැත. ඔහුට තිබුණු ගැටලුව වූයේ කතා කරන විට කටින් අරක්කු ගඳ පිටවී බිරිඳට හසුවේදෝ යැයි කියන සැකය පමණි. ‘‘අයියෝ! ඕක මොකක්ද එනසාල් ඇටේකුත් එක්ක බුලත් විටක් කාපන්. පොලිසියටවත් අල්ලන්න බෑ.’’ යි කියමින් බුලත්විට කන යාළුවෙක් සාක්කුවෙන් එනසාල් ඇටේකුත් එක්ක හතර වර්ගයම එකතු කරගෙන කටේ ඔබාගෙන හපන්නට විය. කෙළ ගැසීමට එළියට බැස්ස ඔහු එකවර ‘‘දඩාස්’’ ගා බිම ඇද වැටුණේය.
සිද්ධිය දුටු මිතුරකුගේ කැගෑසීමත් සමග වටවූ අනෙක් මිතුරන් වහාම ඔහු ඔසවාගෙන විත් සාලයේ සැටිය මත තබා මුහුණට වතුර ටිකක් ඉසීමෙන් පසු ඔහු ඇස් ඇරබලා නැගිට්ටේය.
ඔහු පියවි සිහියට පත්වී ‘අවුලක් නෑ අවුලක් නෑ’ යි කීවද කලබලවූ මිතුරු පිරිස කඩිනමින් ඔහු ළඟම සිටි වෛද්‍යවරයා ළඟට රැගෙන ගියහ. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා ‘පේන්න නම් අවුලක් නෑ. ඒත් ඊසීජී එකක් නොබලා මුකුත් කියන්න බෑ’ යි කියමින් රෝගියා වහාම රෝහල්ගත කරන්නැයි නියෝග කළේය.
රෝහල්ගතවුවොත් නිවසේ ඇතිවන තත්වය සිහිපත් වී ඔහු ගෙදර යායුතු යැයි මිතුරන්ට පෙරැත්ත කළද බීමත් මිතුරන් වහාම ඔහු රෝහල් ගත කළේය. බුලත් විට කා මත්වීම හැර වෙනත් කිසිදු රෝගයක් වැළඳී නොතිබුණු බැවින් පසුදා ටිකට් කපාගෙන ඔහු නිවසට පැමිණ තිබුණි. කිසිදු රෝගයක් නැති නිරෝගී පුද්ගලයකු ලෙස නිවසට පැමිණිය ද එතැන් පටන් ඇසෙන බිරිඳගේ දෝෂාරෝපණ නිසා මේ වනවිට ඔහු ශ්‍රවණාබාධිත තත්වයකට පත්වී ඇතැයි සිද්ධිය දත් මිතුරෝ පවසති.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd