සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන තම ගෙවත්ත අලංකාර කිරීම සඳහා තම පුතු විසින් ගෙනවිත් සවිකර තිබූ ප්‍රතිමාවකට පහරදී තුවාල සිදුවීමෙන් රෝහල් ගත කෙරුණු පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
හෙතෙම නිවසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන පුද්ගලයෙකි. ඔහු විවාහකයකු වන අතර, එකම පුතු 18 හැවිරිදි වියේ පසුවිය. හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වූ අතර මවගෙන්ද ඊට නොමද සහයක් ලැබිණි.
මෙම මවද වයසට වඩා ළාබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක විය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ සිත් ඇය කෙරෙහි යොමු විය. ඇය ගමෙහි සියලු දෙනා සමඟ කුළුපගව ජීවත් වූවාය. මේ නිසා සමහර අය මැය දෙස බැලුවේ අමුතු බැල්මකි. එය සැමියාට නොරුස්සනසුළු විය. මේ නිසා ම ඔහු ඇය ගැන සැකයෙන් බලන්නට විය.
දිනපතා රැකියාවට යන මොහු නිවසට පැමිණෙන්නේ තරමක් රෑ බෝවන විටයි. ඒ එන විට තම යහළුවන් සමඟ ඇඟ රත්කර ගැනීමට ඔහු අමතක කළේ නැත.
දිනක් තම සේවය නිමකොට නිවසට පැමිණි ඔහුට මද අඳුරේ ගෙවත්තෙහි කිසියම් පුද්ගලයකු සිටින බවට ඡායාවක් දැක කලබලයට පත් වූයේ, තම බිරිඳ හමුවීමට කවුරුන් හෝ පැමිණ ඇතැයි සැක සිතමිනි. කලබල වූ ඔහු කවුද ඔතන මොකද කරන්නෙ යනුවෙන් ඇසීය. පිළිතුරු නොවූ හෙයින් තවත් වරක් එසේ ඇසීය. එයටත් පිළිතුරු නොලැබුණු නිසා කෝපයෙන් ඉදිරියට පැන එම පුද්ගලයාගේ පපු පෙදෙසට වේගවත් පහරක් එල්ල කළේය. තද දෙයකට අත වැදීමෙන් ඇතිවූ වේදනාවත් සමග කෑගසාගෙන ඔහු බිම ඇද වැටුණේ එතැන සිටි තැනැත්තාත් සමගිනි.
මෙම ශබ්දය ඇසුණු බිරිඳ එතැනට දුවගෙන ආ අතර, ඇය දුටුවේ එදින තම පුතා ගෙවත්ත අලංකාරය සඳහා ගෙනවිත් සවිකර තිබූ මාළු බිලීබාන රුවක් ඇති කොන්ක්‍රීට් පිළිරුව සමග තම සැමියා බිම ඇද වැටී සිටින අයුරුය. තම පුතාගේද සහාය ඇතිව සැමියා නැගිටවා ගත් ඇය සිදුවූ දෙය අසා මවිතයට පත්වූවාය. සැමියාගේද ඉහමොළ රත් වූයේ හදිසි කලබලය නිසා තමාට සිදු වූ අකරතැබ්බය නිසාය. දෙකට කැඩී ගිය පිළිරුව දෙස ද බැලූ ඇය දකුණු අතේ අස්ථියක් බිඳීගිය සැමියා වෛද්‍යවරයකු ළඟට කැඳවා රෝහල් ගත කර යන්නට සැරසී සැමියාට දෝෂාරෝපණය කළේ හරිහැටි නොසොයා කටයුතු කරන්නට යාමෙන් අවුරුද්දට රෝහලේ ඉන්න වෙනවායි පවසමිනි.
කඹුරුපිටිය විශේෂ- කේ. අජිත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd