තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියහ. ‘‘හර්ෂ... අපේ තාත්තා අයියෝ...’’ තරුණිය භිරාන්තවී හැඬුම් බර ස්වරයෙන් කීවාය. ‘‘කෝ... කෝ?’’ තරුණයා කලබල වෙමින් ඇසීය. ‘‘අර ඈත... මේ පැත්තෙට එනවා.’’ ඇය පෙන්වූවාය. තරුණයාට ගණ දෙවි නුවණ පහළ විය. හේ ඇගේ අතින් අල්ලාගෙන එම සුවිසල් ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ නැංගේය. උඩු මහලේ තිබූ අවන් හලට ඇතුළු වූ ඔවුහු එහි අසුන්ගෙන සිසිල් බීමක් ඇණවුම් කළහ. තරුණිය තවමත් බයෙන් ගැහෙයි. වේටර් සිසිල් බීම වීදුරු දෙකක් ගේනාවේය. දෙදෙනා ඒවා තොල ගාන්නට වූහ. ‘‘හත් දෙයියනේ හර්ෂ අපේ ලොකු අයියා’’ ඊළඟ මොහොතේ තරුණිය බයේ ගැහෙමින් තෙපළාය. ‘‘කෝ... කෝ...’’ තරුණයා ඇය බලා සිටි දෙස බලමින් ඇසීය. ‘‘අර කොනේ මේසෙ වාඩි වෙලා මෙහාට පිටුපාලා ඉන්නේ අපේ ලොකු අයියා.’’ ඇය හැඬුම්බර ස්වරයෙන් කීවාය. එකනෙහිම එම තරුණයා පිටුපස හැරී බැලීය. තම නැගණිය හඳුනාගත් හේ කෝපයෙන් නැගිට එතැනට දිව ආවේය. ‘‘චූටි නංගි... උඹ අද පන්ති යනවා කියලා නේද ආවේ?’’ එසේ අසමින් ඔහු ඇයට කනේ පාරක් ගැසීය. ඇය මහ හඬින් හඬා වැටෙද්දී ඔහු සමග එකට බීර බොමින් සිටි මිතුරා වහා දිව විත් ඔහු වළකා ගත්තේය. කෝපවී සිටි ඔහු තම නැගණියගේ පෙම්වතාට පහර පිට පහර දෙන්නට විය. මිතුරා ඔහු පාලනය කර ගැනීමට සමත් විය. ‘‘තෝ මට මීට පස්සෙ අහු වුණොත් මම තෝ මකනවා පල යන්න මෙතැනින් ‘‘කෝපයෙන් ගිගිරූ හේ ඔහුට පා පහරක් ද ගැසීය. ඔහු යන්නට ගියේය. ඔහුට සුළු තුවාල ද සිදුව තිබිණි. ‘‘තෝ හිටපිය මාත් එක්ක යන්න කියමින් හේ තම නැගණිය නවතා ගත්තේය.