පෝද්දල - සරත් ආනන්ද ගමගේ 



පා පැදියක සවිකරන ලද ලොක් එකක් අලු‍ත්වැඩියා කරගැනීම සඳහා අතිදක්ෂ කාර්මිකයකු සිටින “වින්කලයකට”‍ ගිය පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම රජයේ රැකියාවක නියුතුව සිට මේ බොහොම මෑතක විශ්‍රාම ලැබූවෙකි. ගමන පාපැදියෙනි. යතුරුපැදියක් මිලදී ගැනීමට ඕනෑවටත් වඩා ආර්ථික හැකියාව තිබුණද හේ හැමදාම ගමන් බිමන් ගියේ සුපුරුදු පාපැදියෙනි. එය ශරීර සෞඛ්‍යයටද හොඳ ව්‍යායාමයක් වූ බැවින් හා යතුරුපැදියට වඩා ආරක්ෂා සහිත බැවින් වැඩි නිසා බිරිඳ ඇතුළු දරුවන්ද ඔහුගේ පාපැදි ගමනට ආශිර්වාද කළා මිසක අඩ තියන්නට ආවේ නැත.
පසුගිය දිනක ඔහුගේ පාපැදියේ “ලොක් එක”‍ ලෙඩ දෙන්නට විය. ලොක් එක අගුළු දැමීමෙන් පසු නැවත අගුල විවෘත කරගැනීමට බොහෝ මහන්සියක් ගැනීමට සිදුවිය. වෙනදා යතුර දමා පහතට හැරවූ සැණින් විවෘත වූ අගුල දැන් සමහර දිනවලදී ඇරගන්නේ විනාඩි පහක් දහයක් මහන්සි වීය. බොහෝ දෙනා කියන පිළියම වූ ලොක් එකට තෙල් දැමීම අවස්ථා කිහිපයකදීම සිදුකළත් සාර්ථක නොවීය.
ඔහුගේ මිතුරෙක් ලොක් හදන වින්කලයක් ගැන දැනුම් දුන්නේය. එහි සිටින බාසුන්නැහේ බයිසිකල් ලොක් පිළිබඳ විශාරදයකු යැයි ප්‍රදේශයේද ප්‍රසිද්ධව ඇත්තෙකි.


පසුදාම ඔහු මේ වින්කලය සොයා ගියේය. බාසුන්නැහේ මැදිවියේ පුද්ගලයෙකි. පැයකින් දෙකකින් ලොක් එක සාදා දිය හැකි බවත් ඒ සඳහා රුපියල් දාහක් කුලිය අයකරන බවත් පැවසීය. 
අනතුරුව ඔහු ලොක් එක සාදා නිමකරන තුරු එහි රැඳී සිටියේය. ලොක් එක ගලවා “මස්කළ”‍ බාසුන්නැහේ පැය එකහමාරකින් පමණ ලොක් එක යථා තත්වයට පත් කළේය. නැවත එය බයිසිකලයට සවිකර දුන් පසු බාසුන්නැහේගේ “අලාභය”‍ ගෙවූ ඔහු සතුටින් නිවසට පැමිණියේය. 
පසුදා ඔහු බොහෝ සතුටින් නගරයට ගියේය. ඉන්පසු වින්කලය ගැන පණිවුඩය දුන් මිතුරා සොයා ගියේය. මිතුරා ලොක් එක පරීක්ෂා කර බලා එය නියමෙට ගොඩදා ඇතැයි පවසා කීයක් අය කළාදැයි විමසීය. ඒ සඳහා රුපියල් දාහක මුදලක් අය කළ බව කී විටදී මිතුරා ඔළුවේ අත ගසා ගත්තේය.
“යකෝ දාහක් දීල ඕක හදන්න ඕනද? අටසිය පනහකට අලු‍ත් එකක් ගන්න පුළුවන්”‍ යැයි පැවසීය.
“මං දන්නෙ නෑ බං එච්චර අඩුවට ලොක් තිබෙන බව”‍ කියමින් ඔහු හැඬුම් ස්වරයෙන් පැවසීය. “බාසුන්නැහෙට වරදක් කියන්න බෑ. එයා මුලින් ගාණ කියලනෙ වැඩේ කරල තියෙන්නෙ”‍ කියමින් මිතුරා වරද ද ඔහු පිටම පැටවීය.
පාඩුව වුණේ තමාට නිසා එය කා සමගවත් පවසන්න එපා යැයි මිතුරාට පැවසුවද සිද්ධිය මේ වනවිට බොහෝ දුර පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.