හසලක - සුනිල් ඒකනායක



ජංගම දුරකතනයක් මගින් “මම යනවා බුදු සරණයි” යනුවෙන් සිය ඥාතියකුට යොමු කළ කෙටි පණිවිඩයක් වැරදීමකින් වෙනත් ජංගම දුරකතනයකට යාමෙන් වෙන්නට ගිය විපත්තියක් පිළිබඳ පුවතක් මහියංගණයට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
ඔහු මහියංගණ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන 34 හැවිරිදි දෙදරු පියෙකි. මෙදින ඔහු මහනුවර ප‍්‍රදේශයේ කිසියම් අවශ්‍යතාවකට ගොස් පෙරළා නිවස බලා යතුරුපැදියේ නැගී එන්නට සුදානම් වී තම මහනුවර ප‍්‍රදේශයේ පදිංචි ඥාතියකුගේ ජංගම දුරකතනයකට පණිවිඩයක් තැබුවේ “මම දැන් මහියංගණයේ ගෙදර යනවා. ඔයාට බුදු සරණයි” යන්නය.
මේ අතරේ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි තරුණ අඹුසැමි යුවළක කාන්තාව රාත‍්‍රී හතට පමණ තම සැමියාගේ දුරකතනය අතට ගෙන එහි ලැබී ඇති පණිවිඩ පරීක්ෂා කරමින් සිටින විට ඇයගේ නෙත ගැටුණේ නාඳුනන අංකයකින් ලැබී ඇති “මම දැන් මහියංගණයේ ගෙදර යනවා. ඔයාට බුදු සරණයි” යනුවෙන් තිබූ සටහන වෙතය.
ඒ වන විට සැමියා ඔහුගේ කාමරයේ කිසියම් කටයුත්තක නිරත වී සිටියේය. ඇය මේ සටහන සහිත දුරකතනය එම ස්ථානයට රැගෙන ගොස් විමසුවේ කවුද මේ කෙටි පණිවිඩය එවා ඇත්තේ කියාය. ඔහු එම සටහන බලා පැවසුවේ එය තමන් නොදන්නා බවයි. මේ සටහන තබා ඇත්තේ තම සැමියාගේ අනියම් පෙම්වතිය විය හැකි යැයි සිතා ඇය ඔහු සමග වාදයකට පැටළුණාය.
මේ සටහන ගැන තමන් නොදන්නා බවත් තමන්ට එවැනි අනියම් පෙම්වතියක් නොමැති බවත් ඔහු දස අතේ දිවුරමින් පැවසුවත් ඇය පිළිගත්තේ නැත. මෙම කතාබහ පැයක පමණ කාලයක් දෙදෙනා අතර පැවති අතර එහිදී ඔහු පැවසුවේ සටහන තබා ඇති දුරකතන අංකයට ඇමතුමක් ගෙන කාරණය විමසා සිටින ලෙසිනි.


එම උපදෙස් මත ඇය අදාළ අංකයට ඇමතුමක් ගන්නා ලදී. “හලෝ මේ කවුද?” යන්න ඇය විමසා ඇත. එයට අනෙක් පසින් පිරිමි අයකු විමසා ඇත්තේ තමන් අසවලා බවත් ඇයිද මේ ඇමතුම ගත්තේ” යන්නය. එහිදී ඇය විමසා ඇත්තේ තමන් කතා කරන මේ අංකයට “මම දැන් මහියංගණයේ ගෙදර යනවා. ඔයාට බුදු සරණයි” යන්න සඳහන් සටහනක් ලැබී ඇති නිසා එය කාගෙන් දැයි යන්න දැන ගැනීමට විමසූ බවත්ය. ඔහු පැවසුවේ තමන් අද දින මහනුවරට ගොස් පෙරළා නිවස බලා එන්නට සූදානම්ව තමන් නිවසට යන බව කියා තම ඥාතියකුගේ ජංගම දුරකතනයට මෙම සටහන තැබූ බවත් සමහර විට අංකය වැරදීමකින් ඔබගේ දුරකතනයට එන්නට ඇතැයි කියාය.
එම කතාවෙන් පසු ඇයගේ කේන්තිය පහව ගිය අතර සැමියාට පැවසුවේ තමන් ඉක්මන් වී ආරවුලක පැටලීම පිළිබඳව සමාව දෙන ලෙසය. එවිට ඔහු පැවසුවේ “දැන් සනීපයිනේ. ඕකට තමා කියන්නේ ඉක්මන් කොටයි කියලා. තමුන් අහලා නැද්ද? අපරාදේ මට වැඩක් කරගන්න තිබුණු කාලය තමුන් නිරපරාදේ විනාශ කළා.” කියාය.