කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
කුකුළු කූඩුවේ කුකුළු පැටව් කෑවේ යයි උරණවි කුකුළු කූඩුව දෙස සිට එමින් සිටි තඩි කබරයාට පහර දෙන්න ගොස් ලොකු අමාරුවක වැටුණු අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මිනිහා විශ්‍රාම ගියේ මේ මෑතකදී ය. විශ්‍රාම වැටුප ජීවත්වීමට මදි බව ඔහුට දැන්වූයේ ඔහුගේ ඇඹේනිය ය. ඔහුට ද එය නොතේරුණාම නොවේ. එහෙයින් ඔහු අමතර ආදායමක් ලබා ගැනීමේ මගක් කල්පනා කළේය. ගෙවත්තේ ඇති ඉඩකඩත් එක්ක අලුත් යමක් කිරීමට ඔහුගේ සිතට ආවේ ය. ඒ පොඩියට කුකුළු ෆාම් එකක් ය.
ඒ අනුව ඔහු කුකුළු ෆාම් එකක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කළේය. ඒ සඳහා කිකිළි පැටව් ද ගෙන ආවේය. බෝල කිකිළි පැටව් දුටුවාම ඔහුට ලොකු ලෝබකමක් සිතට ආවේ ය. ඔහු ගෙන ආ කිකිළි පැටව් ඉදිකළ කූඩුවේ දැමුවේ ය.
ගතවූවේ ටික කාලයකි. ඔහු කිකිළි පැටව් ටික හොඳින් රැකබලා ගත්තේ ය. සෑම වෙලාවේම ඔහුගේ දෙඇස තිබුණේ කිකිළි පැටව් සිටිනා කූඩුව දෙස ය. එසේ බලා සිටි ඔහුට කිකිළි පැටවුන්ගේ කෑගැසිල්ලක් ඇසුණේ ය. ඔහු නිවසින් එළියට පැන්නේ පොල්ලක් අතතිව ය. එසේ යන අතරමග කූඩුව දෙස සිට එන බඩ තඩි කබරයෙකි. තමා ආදරයෙන් රැකබලා ගත් කිකිළි පැටව් ටික මේ කබරයා ගිල දමන්නට ඇතැයි ඔහු සිතුවේ ය. කෑගැසූ කිකිළි පැටවුන් ද දැන් නිහඩවීම එයට තවත් හේතුවක් විය.
කෝපය ඉහවහා ගියේය. ඔහු අත තිබූ පොල්ලෙන් කබරයාට තඩි බාන්න පටන් ගත්තේ ය. ඔහු ගහන ගහන පාරට තඩි කබරයා පිඹ පිඹ බඩ පිම්බුවේ ය. කබරයා ද මේ පොලු ප්‍රහාරය හමුවේ නිහඬව නොසිටියේ ය. ඌද උගේ වලිගයෙන් ඔහුට ප්‍රහාරයක් එල්ල කළේය. එය කඩු ප්‍රහාරයකට සමාන වුවකි. ඒ ප්‍රහාරයෙන් ඔහුගේ දෙපා කැපී ගියේ ය. ලේ ගැලුවේ ය. ඒ සමගම ඔහුගේ මරළතෝනිය ගමටම ඇසුණේ ය. ගම්මු එතනට දිව ආහ. ඔහු රෝහල් ගත කෙරිණ.
ඔහුගේ කිකිළි කූඩුවේ සිටි කිසිදු කිකිළි පැටියකු අඩු නොවී තිබිණ. උන් ටික යහතින් ය. මේ බව ඔහුගේ ඇඹේනිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා ඔහුට කී විට තමා කළ මෝඩකමට දැන් පසුතැවෙමින් සිටිනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd