කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ලේලියගේ හැටහතර මායමට හසුවී යළි ගොඩඑන්න බැරි ආකාරයට වළට ඇද වැටුණු මාමණ්ඩියක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
පුතා, පුතාගේ පුතා (මුණුපුරා) සහ ලේලිය සමග මේ පුද්ගලයා ජීවත්වූවේ තමාගේ නමට තිබූ ගේදොරේය. මේ ලේලිය සිය මාමණ්ඩියට සැලකුවේ මාමණ්ඩියකට ලේලියක සලකන ආකාරයට නොව දුවක පියකුට සලකන ආකාරයටය. ඇය ඔහුගේ කෑම බීම ගැන සෙව්වාය. ඇඳුම් පැළඳුම් ගැන සෙව්වාය. ඥාති නිවසක මේ මාමණ්ඩිය ගියත් ඇය ඔහු සිය නිවසට අඬගසාගෙන ආවාය. දවසක් දෙකක්වත් පිට තැනක සිටීමට ඇය ඉඩ නොදුන්නාය.
මේ පුද්ගලයාගේ පුතා සිය භාර්යාව පියාට සලකන ආකාරය පිළිබඳව සිටියේ ඇය ගැන ලොකු පැහැදීමකිනි. ආර්ථික අහේනියත් සමගම පුතා විදෙස්ගතවූවේ එයින් මිදීමටය. පුතා විදෙස්ගතව සිටි කාලයේදී පුතා සිටියාටත් වඩා හොඳින් ඇය සිය මාමණ්ඩිය බලාකියා ගත්තාය. මේ පිළිබඳව මේ මාමණ්ඩිය සිය ලේලිය ගැන සුබ සිහින දල්වාගෙන සිටියේය. මේ ලේලියක් නොව තමාගේ ලෙයින් උපන් දුවක යැයි ඔහු සිතුවේය. ඊට හේතු සාධක රැසක්ම තිබුණේය.
ඔය අතරේ ලේලිය සිය මාමණ්ඩියට අපූරු යෝජනාවක් කළාය. ඒ මුණුපුරා පාසලට දමා ගැනීමට ඔප්පුවට ලකුණු තිස්පහක් ලැබෙන බවත් ඒ නිසා තමාගේ නමට ගේ ඉඩමේ ඔප්පුව ලියන ලෙසය. ඊට මේ මාමණ්ඩියගෙන් කිසිදු විරෝධතාවක් පැන නොනැග්ගේය. ඔහු එක පයින්ම කැමති වූවේය.
ඇයගේ නමට ගේ ඉඩම ලියා ගතවූවේ ටික කාලයකි. නියම දුවක ලෙස සැලකූ තමාට ලේලිය ටිකෙන් ටික වෙනස්කම් කිරීමට පටන් ගන්නා බව ඔහුට තේරුම් ගියේය. රැව්වේය. ගෙරෙව්වේය. බැන්නේය. පුතාගේ ද පියා පිළිබඳව සිත කැඩුවාය. පල නොකියා පලා බෙදීම නිසා මේ මාමණ්ඩිය ඥාති නිවසකට ගියේය. එයින් තව තැන්වලටත් මාරුවෙන් මාරුවට ගියේය. ලේලිය එදා සැලකූ මාමණ්ඩියට මෙසේ සැලකීමට හේතුව සොයා බැලූ ඥාතීන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇය මේ මායම් හැටහතරම දමා ඇත්තේ මාමණ්ඩියගේ නමට තිබූ ගේ ඉඩම ලියාගන්න තෙක් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd