වයඹ පළාතේ ග‍්‍රාමීය මට්ටමේ වෙළඳසලකි. කඩ හිමියා ප‍්‍රදේශයේ ආණ්ඩුපක්ෂයේ ප‍්‍රබල දේශපාලකයකුගේ උදව්කරුවෙකි. උදේටත් හැන්දෑවටත් මෙහි පාරිභෝගිකයෝ පිරෙති. ඒත් මෑතක පටන් කවුරුත් මෙතැන කතා කළේ වැඩිවන බඩුමිල ගැනය. ඒ ගැන තර්ක විතර්ක, උසුළු විසුළු කරමින් කඬේ ලෑලි බංකුවේ වැඩි දෙනා පාළු කපති. මෙය නොරිස්සු මුදලාලි මෙතැන වැඩක් නැත්නම් ගෙවල්වලට යන්නට කීවේ වරක් දෙවරක් නොවේ. ඒත් ඔවුන් යන්නේ නැති තැන කාව්‍ය රසිකයකු වූ මුදලාලි ලොකු කොළයක කවියක් ලියා කඬේ බිත්ති කණුවේ ඇලෙව්වේය. එය මෙසේය. ‘බඩුවෙ මිල වැඩි නං - ඒවා ගන්න බැරි නං නොකර තව අවමං - අනේ මට වද නොදී පලයං’ කවිය බල බලා රස විඳින පාරිභෝගිකයන් සිනාසෙමින් ආපසු යනවා මිස දැන්නම් කඩ බංකුවේ පාළු කපන්නේ නැති ලූ.