සිය පියාගේ හත් දවසේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙරදින පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා පන්සලේ ලොකු හාමුදුරුවන් වැඩම කරවන්නට ගිය මියගිය අයගේ වැඩිමහල් දරුවා හාමුදුරුවන් වැඩම කරවීම පසෙක  තබා ගමේ තිප්පොළට ගොස් පදමට ගැසීම නිසා   බණ ඇසීමට පැමිණි ගමේ හිතවතුන් මෙන්ම පවුලේ ඥාතීන්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ද මහත් අපහසුතාවට පත් වූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය. 
ඔහු මත්පැනට ගිජු වූවෙකි. කුමන කටයුත්තක් කරන්නට ගියද මත්පැන් ඉස්සර කරගත්තේය.
පසුගිය දිනක මොහුගේ පවුලේ උදවිය එක්ව දින හතකට පෙර මියගිය සිය පියා වෙනුවෙන් දානමය පින්කමක්  සූදානම් කළහ.
දානමය පින්කමට පෙරදින පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පවුලේ ඥාතීන් ගමේ හිතවතුන් ඇතුළු විශාල පිරිසක්ද  පැමිණ සිටියහ. ධර්ම දේශනාවට තවත් ඇත්තේ සුළු වේලාවක් නිසා පවුලේ වැඩිමහල් දරුවා වූ ඔහුට ගමේ පන්සලට ගොස් නායක ස්වාමීන් වහන්සේ කැඳවාගෙන ඒම භාර කෙරුණේ ඊට සුදුසුම පුද්ගලයා ඔහු නිසාය.


ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් බණට වඩම්මාගෙන එන බව පැවැසූ හෙතෙම තම මිතුරකුද ත්‍රීවීල් රථයකට නංවාගෙන  පන්සල  බලා පිටත් වූවේ පැමිණ සිටි පිරිසටද  හැකි විගස එන බව පවසමිනි .
රාත්‍රී ධර්ම දේශනාවට නියමිත වේලාව එළඹිය ද ඔහු හෝ පන්සලේ ලොකු හාමුදුරුවන් එන බවක් දක්නට නොලැබිණි. විනාඩි දහය පහළොව ගෙවී ගොස් පැයකටද ආසන්න වෙමින් තිබිණි. පැමිණි පිරිසද පසු වූයේ දැඩි අපහසුතාවකිනි.
අවසානයේ හාමුදුරුවන් රැගෙන එන්නට ගිය අයට සිදුවූයේ කුමක්දැයි හොයන්නට තවත් දෙදෙනකු යතුරුපැදියකින් පන්සල බලා  යද්දී හාමුදුරුවන්ද පන්සලේ එහා මෙහා ඇවිදිමින් බලා සිටියේ බණ ගෙදරින් තමන් රැගෙන යන්නට එනතුරුය.
 සිද්ධිය තේරුම්ගත් යතුරු පැදියේ ගිය දෙදෙනා එහි තිබූ වාහනයකින් හාමුදුරුවන් වැඩමවාගෙන නිවසට පැමිණ නිවැසියන් හා එක්ව බණ ආරම්භ කරන්නට  කටයුතු කළේ  හාමුදුරුවන් වඩමවන්නට ගිය අයට සිදුවූයේ කුමක්දැයි හොයන්නට තවත් දෙදෙනකුට පවරමිනි.
  මඳවේලාවක් ගතවෙද්දී හාමුදුරුවන් වැඩම කරවන්නට ගිය වැඩිමල් පුත්‍රයා සිය මිතුරාද සමග වැනි වැනී එද්දී  පවුලේම පිරිසක් එක්ව කාටත් හොරෙන් නිවසේ පස්සා දොරෙන් ඇතුළු කරගෙන ගොස් කාමරයකට දමා  දොර අගුලු‍ දැම්මේ පවුලේ සායම බේරා ගැනීමේ අටියෙනි.

වියලු‍ව වාර්තාකරු