ඇය පාසල් ගුරුවරියක් වූ අතර අ.පො.ස (උ.පෙ) ලියා අවසන් වූ තම පුතා සමග නිවසේ ග්‍රොසරියක්ද පවත්වාගෙන ගියාය. ග්‍රොසරියේ සේවය කිරීම  සඳහා හැටන් ප‍්‍රදේශයෙන් පැමිණි තරුණයෙක්ද විය. දිනක් සවස තම මව ඇමතූ පුතා ”අම්මේ අද මට උණ වගේ” යැයි පැවසීය. මව වහාම තම පුතා වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගෙනාවාය.

පාසැලට යායුතු නිසා පසුදින උදෙන්ම අවදිවූ මව උණෙන් පෙළෙන තම පුතාට බීමට ලූණු කැඳ සාදා දිවා ආහාරය සඳහා ඔහුට වැටකොළු මාළුවක් සමඟ බත්ද පිළියෙළ කළාය.  පසුව ග්‍රොසරියේ සේවය කරන තරුණයාට කථා කොට ”රාජු මතක් කරලා පුතාට බොන්න ලූණු කැඳ දෙන්න. දවල්ට වැටකොළු එක්ක බත් දෙන්න” යැයි පැවසුවාය. ”හරි හරි මිස් කන්න බැහැ කීවොත් මම කවන්නම්කෝ” තරුණයා සිනා සෙමින් කීය.

පාසල නිමාවී ගුරුවරිය යුහුසුළුව නිවෙසට පැමිණියේ පුතාගේ අසනීප තත්ත්වය විමසා බැලීමටය. පුතා ඇදේ හාන්සිවී සිටිනු දක්නට ලැබුණි. පුතාගේ නළලට අත තැබූ මව, ”පුතා දැන් උණ බැහැලද? ලූණු කැඳ බිව්වද? වැටකොළු එක්ක බත් කෑවාදැ’යි විමසුවාය.

”අම්මේ අද මට කවදාවත් කාපු නැති ‘රෙසිපි’ එකක් ලැබුණා. පුතා පැවසීය. ”ඒ මොකක්ද මේ උණ අස්සේ පුතා වෙන මොනවාහරි කෑවාදැයි මව පුදුමයෙන් විමසූ විට පුතා පැවසුවේ රාජු ලූණු කැඳවලට වැටකොළු මාළුව දමා කෑමට දුන් බවත් තමා එය ප‍්‍රතික්‍ෂේප කළවිට ,”නැහැ නැහැ මිස් කීවේ මට ඔහොම තමයි” කියමින් ලූණු කැඳ සමඟ වැටකොළු කවන ලද බවත් තමා ඉතා අපහසුවෙන් ඒවා කෑ බවත්ය.