චීන වරායේ සිට සීදුවේ ප්‍රීමා පිටි කම්හල  දක්වා  දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙළෙහි නියාමන ගමන් වාරය ඇරැඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට  පිටත්වූ පිටි රැගත් දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අදාළ දුම්රිය රියැදුරා සාදයකට සහභාගිවීමට ගොස් සිටි නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් දැක්වේ.

මහින්ද  රාජපක්ෂ පාලන සමයේ සිට රජයේ තේමා පාඨය වූයේ ‘ආසියාවේ ආශ්චර්ය’ යන්නය. ඉන්පසු පැමිණි යහපාලන රජයේ තේමා පාඨය වූයේ ‘මාස හැටෙන් අලුත් රටක්’ යන්නය. ගෝඨාභය රාජපක්ෂ පාලනය  ඉදිරිපත් කරනු ලැබුවේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ යන්නය. මෙම තේමා පාඨ, මෙම  මුද්‍රිත අකුරු  ජීවමාන යථාර්ථයක් බවට පත් වූයේ නම් මේ රට තව්තිසා දෙව් ලොවද අභිබවා යන තරම්ය. එහෙත් රට  පත්ව ඇති තැන කොතැනදැයි සබුද්ධික ජනයාට තේරුම් ගැනීමට අසීරු නැත.

ගෙදර ඇති මුව හමට තඩි බාන්නා සේ කොයි දේටත් පවතින ආණ්ඩුවටත්, පැවැති ආණ්ඩුවලටත් චෝදනා කෙවිටෙන් තැලීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව ඇත. නිදහසින් හැත්තෑ තුන් වසරකින් පසු අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මේකදැයි ඔලොක්කුවට මෙන් අසති. රට ඉල්ලු ජයග්‍රහණ ලබාදීමට නොහැකිවූ නායක කාරකාදීන් දඬුකදේ ගැසිය යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත. එහෙත් සාදයකට සහභාගිවීම නිසා දුම්රියක් පැය තුනක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දුම්රිය රියැදුරාගේ හෘද සාක්ෂිය විමසීමට අමතක නොකළ යුතුය. මන්දයත් මෙම සිදුවීමෙන් මෙරට රාජ්‍ය සේවයේ ඇති දූෂිත බවත් කාර්යක්ෂම බවත් මනාව අනාවරණය හෙයිනි.

චීන වරායේ සිට සීදුව ප්‍රීමා පිටි කම්හල වෙත පිටි ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දුම්රිය නියාමන සංගමය විසින් මුලදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් අදාළ සමාගම  සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම සංගමය එම නියාමන  ව්‍යාපෘතියට කැමැත්ත පළකර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් විය. එලෙස කැමැත්ත පළ කිරීමෙන් පසුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් සහ දුම්රිය  රියදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

සාදය, ‘සන්තෝසමක්’ යැයි අනුමාන කළ හැකිය. එය වෙනමම විභාග කළ යුත්තකි. මෙම සිදුවීමෙන් හැත්තෑව දශකයේ විසූ සෝපාහාස විශේෂඥයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි ලියූ කවියක් සිහියට නැගේ. එම කවිය මෙසේය.

‘‘ගනින් බෝතලේ- යමං මාතලේ
යකාට ගියදෙන්-ටයිම් ටේබලේ’’

මෙම දුම්රිය රියැදුරාගෙන්ද  ප්‍රකාශයට පත් වූයේ මෙම තත්ත්වයම යැයි යන්න සැක කළ හැකිය. දුම්රිය නිලධාරීන් හා සේවකයන් මෙම සාදයට සහභාගිවීමට ගොස් තිබෙන්නේද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයකින් හා කැබ් රථයකින් බවද කියැවේ. මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද සඳහන්ය.

රජයේ රෝහලේ සේවය කළ යුතු කාල සීමාව තුළ පෞද්ගලික බෙහෙත් ශාලාවල  චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් පිළිබඳව මෙන්ම පැමිණීමේ ලේඛනයෙහි අත්සන යොදා පාසලේ ඉගැන්වීම් කටයුතු නොකර ටියුෂන් පංතිවල උගන්වන ගුරුවරුන් පිළිබඳවද වරින් වර වාර්තා විය.  ඇතැම් දෙපාර්තමේන්තුවල සේවකයන් අමතනු ලබන්නේ ‘‘ආවෝ ගියෝ’’ යනුවෙනි. එනම් සේවයට  වාර්තා කළ සැණින් ඔවුහු තම තමන්ගේ වෙනත් කටයුතුවලට පිටව යති.  සිරකරුවන් තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බන්ධනාගාර ලොක්කන් පිළිබඳව  මෙන්ම එම වරදම කළ හමුදා හා පොලිස් ලොක්කන්  පිළිබඳවද වාර්තා විය. උගත් නූගත් බේදයකින් තොරව මෙන්ම රැකියාවේ  උස් - පහත් බේදයෙන් තොරවද මෙම වරද ප්‍රදර්ශනය වෙමින් තිබේ.

‘‘රාජකාරිය දේවකාරිය’’ ලෙස ඇදහූ ඉතිහාසයක් අප සතුය. ඔවුහු පළමු තැන රාජකාරියට  ලබා දුන්හ. එහෙයින් රාජ්‍ය සේවය පුන් සඳක් සේ බැබලිණි. රාජ්‍ය සේවකයා සමාජයේ ඉතා වගකිව යුතු මෙන්ම ගෞරව බහුමානයට පත්වන්නකු බවට පත්විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම රාජ්‍ය සේවය දුර්වර්ණ වී තිබේ. එය අකාර්යක්ෂමතාව පල්මඩ වගුරක් බවට පත්ව තිබේ. රාජ්‍ය ආයතනවලට කඩාපැන ජනාධිපතිවරයාටම ඇතැම්  රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.

මෙවැනි පරිහානියක් කරා රාජ්‍ය සේවය ඇද වැටුණේ කෙසේද යන්න ගැඹුරු විමර්ශනයක් කර පිළියම් යෙදිය යුතුය. එසේ නොවුණහොත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත  සංකල්ප ජීවමාන යථාර්ථයක් බවට පත් නොවනු ඇත. එසේ වුවහොත් සිදුවන්නේ සම්මාන සහිතව ‘පාස්’ වීමට නොව අවමාන සහිතව ‘ෆේල්’ වීමටය.


(***)