ලොකු මුණුබුරාගේ හතරවැනි උපන් දින උත්සවය තිබුණේ ඊයේ ය. ඒ සඳහා ළදරු පාසලේ ඔහුගේ මිතුරු මිතුරියන් වෙනුවෙන් විශේෂ ශාලාවක චාම් උත්සවයක් පැවැත්වුණි. දූ දරුවන් සමග ඔවුන්ගේ දෙමාපියෝ ද එහි පැමිණ සිටියහ. පුංචිවුන් මල් වැනි ය. දුවපැන සෙල්ලම් කරන විට සමනල සමනලියන් වැනි ය. ඒ මල් ද සමනල සමනලියන් දැයි සිතා ගත නොහැකිව සිත අතරමං විය. 


මිතුරු මිතුරියන් අතර සිටිය දී වුවද දඩාවතේ යන ලොකු මුණුබුරාගේ දෑස, විටෙක මා අසල නැවතී මදක් රැඳී සිට යළි පළා යයි. අම්මාගෙන් දායාදයක් ලෙස ලද පුංචි නලදත පෙන්වා කෙරෙන ඔහුගේ සිනහව මායාකාරී ය. ඒ සිනහව, මිදී යාමට බැරි ලෙසකින් මා ඇද බැඳ තබා ඇත. 


ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඕනෑ යයි ලොකු මුණුබුරා කීපවිටක් ම මා සමග කියා ඇත. “අපේ තාත්ත ඉපදිල තියෙන්නෙ ශ්‍රී ලංකාවේ” නිතර කියයි. ඔහු “ශ්‍රී ලංකාව” වචනය කියන්නේ ආඩම්බරයෙන් ය. ඒ කුමන හැඟීමකින් දැයි මට හරි හැටි තේරෙන්නේ නැත. එහෙත් එය දරුවකුගේ ළදරු වචනයක් ලෙස සලකා ඉවත දැමීමට සිත කියන්නේ නැත. 
මට ශ්‍රී ලාංකිකයකු වෙන්න ඕනෑ යයි ලොකු මුණුබුරා කියන විට දිවයන මගේ සිත නතරවෙන්නේ ආර්.එල්. ස්පිටල් විසින් ලියන ලද සුදු වැද්දා පොතේ හෑන්ස් ළඟ ය. එතැන් සිට යටියන මහගෙදර අඹගස් නගින මගේ සුදු වැදි පැටියා ගේ රූප පෙළක් මගේ සිත තුළ දිව යයි. ඒ දැහැනින් මිදීමට බොහෝ වේලා ගතවේ. සත්‍ය වශයෙන් ම ඒ දැහැනින් මිදීමට මා තුළ කැමැත්තක් ද නැත. එහෙත් මෙහි සිහින සමගින් පමණක් ම ජීවත් විය නොහැකි ය. කළ යුතු වෙනත් දේ එමට ය. 


මෙහේ ළමුන්ට ගස් නැගීමේ පිස්සුවක් නැත. අහළ පහළ ගස්වල ගඩාගෙඩි කඩාගැනීමට ගල් පොලු ගැසීමේ සිරිතක් ද නැත. ඉදී බරවුණු චෙරි ගස් යටින් ඔළුව බිමට නමාගෙන ඔහේ යති. ඇපල් පීච් ඇප්රිකොට් ගස් ළඟින් යන්නේ ද එසේ ම ය. ඕව කඩාගෙන කාපල්ලා යයි මොරගා කීමට එවන් විට මට සිතේ. 


ලොකු මුණුබුරා ගස් නැගීමට කැමති ය. ඇඹුල් රසයට ආශා ය. ගෙදර වත්තේ චීන නාරං ගෙඩි කෑමට රුසියා ය. එකක් කා තව එකක් කඩාගෙන කන්නදැයි ඔහු අසයි. මේ සියල්ල ඔහුට ලැබී ඇත්තේ ලේ උරුමයෙන් යයි මම සිතමි. ඒ අපේ ලේ ය. හම සුදු වුව ද ඔහුට දැනටමත් ඇත්තේ අපේ ගති ය. 


පොඩි මුණුබුරාට මේ කිසිවක් තවම බැරි ය. ඔහු තවමත් කුඩා වැඩි ය. ඔහු තවමත් හරිහැටි බහ තෝරන්නේ නැත. ඇතැම් වචනයකට සමාන හඬක් මුවින් නිකුත් කරයි. මේවා ඇතැම් විටෙක මට තේරෙන්නේ නැත. එසේ වුවද ඒවා සිංහලෙන් කීමට ඔහුට හැකි වී නම් කෙතරම් චමත්කාර වීමට ඉඩ තිබුණා දැයි විටෙක මට සිතේ. ඇතැම් අවස්ථාවල මම සිංහලෙන් යම් යම් දේ ඔහුට කියා දෙමි. පොඩි මුණුබුරාට ඒවා තේරෙන්නේ නැත. එහෙත් ඔහු සිනහවෙමින් ඒවාට සවන් දෙමින් මා දෙස බලා සිටී. නොතේරුනාට කම් නැත. ඒ අපේ භාෂාව ය. මා විසින් එය ඔහුට කියාදිය යුතුව ඇත. ඔහු ඉවත නොගොස් අසා සිටීම මට සතුටකි. පොඩි මුණුබුරා සමග මම අතුරු මිතුරු සෙල්ලම කරමි. ඔහු එයට කැමති ය. උසි කපුටෝ උසී යයි කියන විට, ඔහු ද දෑත් ඉහළට ඔසවා කෑගසා සිනහ වෙයි. 


බැල්මට සිනහවට භාෂා වැට කඩුළු නැත. එය ජාත්‍යන්තර භාෂාවකි. පොඩි මුණුබුරාගේ ඇස් දෙක කෙල්ලකට පිහිටියා නම් කෙසේ විය හැකිව තිබෙන්නට ඇද්දැයි විටෙක මම සිතමි. ලොකු මුණුබුරාගේ මායාකාරී සිනහවත්, පොඩි මුණුබුරාගේ දෑසත් එක්තැන් නොවී තිබීම පිළිබඳව මම සතුටු වෙමි. 


මුණුබුරන් දෙදෙනා අතර සිටින මොහොතක ගොනුවෙන සිතුවිලි, හුදකලා වෙන අවස්ථාවල මම යළි යළි ආවර්ජනය කර බලමි. ඉන් මම අමන්දානන්දයට පත්වෙමි. ඒ සිතුවිලි චමත්කාර ය. ඒ මොහොතේ මට සිතෙන්නේ වෙනත් ස්වර්ගයක් කුමට ද කියාය. එහෙත් දෙවිවරු ද දෙව්ලොවින් චුතව යති. 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.