පසුගිය සතියේ ජනාධිපතිතුමන්ගේ කතාවකින් කියවුණේ තව මාස 05කින් පමණ මේ රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන බවය. ඒ ප්‍රකාශය ව්‍යවස්ථාවට අනුව මේ වසරේ ජනාධිපතිවරණයක් පැමිණීම නියමිත දෙයක් වුවත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් ඡන්ද කල් දමන්නට රුසියන් නිසාත් ජනතාව ඉන්නේ බරපතළ සැකයකින් නිසාත් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඉතාමත් වැදගත්ය. අනෙක් අතට අගමැතිතුමා ද මේ දවස්වල නිතරම පන්සල් යාමට පටන් ගැනීම පෙන්නුම් කරන්නේ ද නුදුරු අනාගතයේ ඡන්දයක් පැමිණීමේ ඉඩක් තිබෙන බවය. සමහර ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන් තම තමන් ආර්යාවන්ට ඇඳගැනීමෙන් ද පෙන්නුම් කරන්නේ ඡන්දයක් ළඟ එන සේයාවක් බවය. නායකයන් හෝ නායකයන්ගේ බිරින්දෑවරුන් කීවත් නොකීවත් මේ රටේ ජනතාව ඉන්නේ මැතිවරණයක් වෙනුවෙන් කන්නලව් කරමින්ය. මැතිවරණයක් ඉල්ලා පෙත්සම් අත්සන් කරමින්ය. මැතිවරණයක් ඉල්ලා පොල් ගසමින්ය.

මූලික පාලනයේ වෙනසක් කිරීමට නම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව වෙනස් කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා බව හැමෝම දන්නා කාරණයකි. එහෙත් ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ ව්‍යවස්ථාපිත ඉඩක් නැත. එහෙත් මේ වටයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් පෙන්නුම් කරන්නේ මුළු රටේම ජනතාව කීවත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අත උස්සන්නේ නැති තත්ත්වයක්ය. තමන්ගේ මන්ත්‍රීධුරය කියන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවගේ තනතුරක් බවත් තමන් කරන්නේ ඒ තනතුර නියෝජනය කිරීම බවත් මේ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ අය දන්නේවත් නැත. එසේම මේ මන්ත්‍රීවරුන්ට මෙම ධුරය දැරිය හැක්කේ ජනතාවගේ කැමැත්ත මත පමණක් බවත් සමහර මන්ත්‍රීවරුන් ඇත්තටම දන්නේ නැත. ඒ අය හිතන්නේ මන්ත්‍රීධුරයක් කියන්නේ තමන්ට අයිති දෙයක් කියාය. බොහෝ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් ද හැසිරෙන්නේම ‘අපේ මන්ත්‍රීධුරයට අහවලා එන එක නැවැත්වීම’ වැනි බාල තැනකින් මේ කාරණය අල්ලා ගනිමින්ය. ඒ නිසාම මේ කිසිම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා ඡන්දයක් ලබා දෙන්නේ නැත. අනෙක් පැත්තෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඇතුළු රජයේ අය පළාත් සභා ඡන්දය පවත්වන්නට ඉඩ දෙන්නේ ද නැත. දැන් ඉතිරිව තියෙන්නේ ස්වාභාවිකවම අපේ අතට එන ජනාධිපතිවරණයක් වෙතට ගමන් කිරීමය. මේ එන්න නියමිත ජනාධිපතිවරණය ඒ අනුව කාගේවත් හොඳකමට හෝ මේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදයකට පින් සිදුවෙන්නට එන එකක් නොව ආණ්ඩුවට කල් දාගන්න බැරි නිසා ව්‍යවස්ථාවෙන්ම ලැබෙන දෙයක්ය. කොටින්ම කියනවා නම් 2015දී මුළු රටේම කේන්ද්‍රස්ථානයකට පැමිණ මේ වනවිට විහිළුවක් බවට පත්වී ඇති ‘ජනවාරිවරුන්ගේ සිවිල් සමාජය’ වැනි කණ්ඩායම් කාටවත් මේ ජනාධිපතිවරණය එන එකෙන් ‘යහපාලන ක්‍රෙඩිට් එකක්’ දමා ගැනීමේ හැකියාවක් නැත. ඒ අයට කිව හැක්කේ ‘මේ ඡන්දය කල් දාන්න ක්‍රමයක් නැති නිසා ඒක පැවැත්වේවි’ වැනි පාණ්ඩිත්‍යවාදි ප්‍රකාශකයක් මිස වෙනකක් නොවේ.

දැන් මේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මගින් රටේ ජනතාවගේ අවධානයට යොමු විය යුතු කාරණා මොනවාද යන්න විමසීම ඉතාමත් වැදගත්  කාරණයක්ය. මගේ මේ සටහනේ ඉතිරි කොටස වැය වෙන්නේ ඒ සඳහාය.

මුලින්ම අපේ රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කුමන ආකාරයක ජනාධිපතිවරයකු ද යන කාරණය මුලින්ම විමසා බැලීම සුදුසුය. ලෝකයේ ඕනෑම රටකට රාජ්‍ය නායකයකු තෝරා ගන්නා අවස්ථාවක රටේ ජනතාවගේ පැත්තෙන් බැලිය යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ කුමක්ද සහ ඒ අභියෝගය (එකක් හෝ අභියෝග කීපයක් තිබේ නම් ඒවා) සඳහා සුදුසුම විසඳුමක් ලබාදිය හැකි නායකයා කවරෙක්ද? යන කාරණයයි. උදාහරණයක් ලෙසින් ගතහොත් 1994 ජනාධිපතිවරණයේදී රටේ නායකත්වය සඳහා චන්ද්‍රිකා මැතිනිය තෝරා ගත්තේ ඒ යුගයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අයුරින් අර්බුදයට ගොස් තිබූ නිසාය. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ අවස්ථාවේ මේ රටේ තිබුණේ මුල් එජාපයේ චන්ද්‍රිකා යුගයේ හා 2002 වික්‍රමසිංහ යුගයේ වර්ධනය වූ බරපතළ බෙදුම්වාදයක් හා ත්‍රස්තවාදයක් වෙතට රට ගමන් කර තිබුණු තත්ත්වයක ශක්තිමත් නායකත්වයක් අවශ්‍යවීමත් සමගය. 2010 අපේක්ෂකයා තේරීමේදී මූලික කාරණය වූයේ රටේ ඒ වනවිට ගොඩනැගී තිබූ සාමකාමී තත්ත්වය වර්ධනය කිරීමත් ආර්ථිකමය ශක්තියක් නිර්මාණය කිරීමත්ය. 2015 ජනාධිපතිවරණයේ ‘මැය’ හෙවත් කේන්ද්‍රීය තර්කය වූයේ සාමය ජයගැනීම හෝ ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි බරපතළ විෂයයන් නොව රට තුළ ‘ප්‍රජාතන්ත්‍රීය ආයතන ශක්තිමත් කිරීම’ හා ‘ජාත්‍යන්තර සම්බන්ධතාවලදී වෙනස් ආකල්පයක්’ වැනි දේවල් සහ රාජ්‍යයේ දේශපාලනමය තත්ත්වය කළමනාකරණය කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීම වැනි කාරණාවය. යහපාලනයක් ඕනෑ යැයි කීවේ මේ කාරණා හිතේ තියාගෙන බව ඒ දවස්වල අප කාටත් පෙනී ගිය කාරණයය. (ඇත්තටම සිදු වුණේ නොදන්න යහපාලනයක් ගේන්නට ගොස් තිබුණු ආර්ථික ජයග්‍රහණ සහ සාමකාමී තත්ත්වයත් විනාශයට පත්වීම බව දැන් අප කවුරුත් අත්දකින සත්‍යයය.) එහෙත් මට මෙහිදී වැදගත් වන්නේ මේ කාගේවත් ජය හෝ පරාජය කතා කිරීමට නොව මීළඟ ජනාධිපති තෝරා ගැනීමේ මූලික පදනම විය යුත්තේ කුමන කාරණා මතද යන අදහස විමසා බැලීමය.

මගේ අදහස වන්නේ 2019 ජනාධිපතිවරණය හා ඊට පසුව එන මහ මැතිවරණය කියන්නේ මේ රටේ තීරණාත්මක මැතිවරණ දෙකක් වීමට නියමිත බවයි. මේ මැතිවරණ දෙක ආසන්න වශයෙන් 2005 ජනාධිපතිවරණය මෙන් රට යන පැත්ත වෙනස් කරන බරපතළ ප්‍රතිසංස්කරණමය වූ දේශපාලනයක් මේ රටේ ආර්ථිකය, ආරක්ෂාව හා ප්‍රජාතන්ත්‍රවාදය යන අංශ තුනටම සිදුකිරීම මුල් කරගෙන ගත යුතු තීරණයක් සමග ගැට ගැසී ඇති බවයි. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයේ සටන් පාඨය විය යුත්තේ ‘වැඩ කිරීම මිස බොරු කයිවාරු ගැසීම’ පසෙකට දැමූ පුද්ගලයකු හා වැඩසටහනක් ජයග්‍රහණය කිරීමය. තවත් ආකාරයකින් කිවහොත් අප සේන්දු වෙමින් සිටින්නේ කතාවට හොඳ මිනිසුන් ජනාධිපති ධුරයේ දමා රට ගොඩගැනීමට වෙහෙස විය හැකි පුද්ගලයන් ඉවතට දමන දේශපාලනය තවදූරටත් පවත්වාගෙන නොහැකි ආකාරයේ තත්ත්වයකය.

මේ එන ජනාධිපතිවරණයේ සටන්පාඨය විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හිස් කතන්දරයක් හෝ යහපාලනය පිළිබඳව අලංකාරවලින් පිරුණු කතා සාප්පුවක් හෝ නොවන බව මගේ අදහසය. කතාකාරයාගේ සිට වැඩකාරයා දක්වා දේශපාලනය වෙනස්වීමේ අවස්ථාව රටේ දොරකඩටම පැමිණ ඇති බව ඉතාමත් පැහැදිලිය. දැන් රටට අවශ්‍යවන්නේ ඇමරිකාව සතුටු වෙන හෝ ජාත්‍යන්තරය ප්‍රීතියට පත්කරන හෝ හාන්සි පුටු ප්‍රජාතන්ත්‍රවාදයක් නොව උතුරේ සිට දකුණටම වෙළාගෙන ඇති ආර්ථික අර්බුදවලින් රට ගලවා ගත හැකි සැබෑ ප්‍රතිසංස්කරණවාදියකු, මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමය. එය කළ හැක්කේ කුමන පක්ෂයෙන්ද කියන කාරණයටත් වඩා මෙහිදී වැදගත් වන්නේ මේ තත්ත්වය රටක් ලෙසින් අප හරියට තේරුම් ගැනීමය.

ගමේ භාෂාවෙන් කියනවානම් දැන් අප ඉන්නේ හේනක් කොටන්නට අවශ්‍ය වෙලාවක මිස හේනේ අස්වැන්න නෙළන්නට තියෙන අවස්ථාවක නොවේ. ඒ නිසාම රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හේනක් කොටන්නට අවශ්‍ය මහන්සිය හා කැපකිරීම තිබෙන්නකු මිස අස්වැන්න නෙළන්නට හා අස්වැන්න සම සේ ප්‍රජාතන්ත්‍රවාදීව බෙදන්නට හොඳට දන්නා කෙනෙක් නොවේ. මේ මොහොත ‘වගාකරන්නාගේ මොහොතක් මිස අස්වැන්න බෙදන්නාගේ මොහොතක්’ නොවන බව මේ කියන කාරණයෙහි දළ අදහසය. ඒ අර්ථයෙන් අප රටක් ලෙසින් සිටින්නේ රටට ජනාධිපතිවරයකු හා රටට වැඩසටහනක් නිසි පරිදි තෝරා ගැනීමේ අර්ථයෙන් වෙන කවරදාටත් වඩා බරපතළ ආකාරයේ තත්ත්වයකය.

අනෙක් කාරණය වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව අප මුහුණ දෙන තත්ත්වයය. බොහෝ අය අති සරල ලෙසින් තේරුම් ගත්තාට පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ මේ රටේ ආරක්ෂාව සම්බන්ධව හා මූලධර්මවාදවල නැඟීම සම්බන්ධව නව තත්ත්වයක් ගොඩ නැගී ඇති බව පිළිගැනීම අත්‍යවශ්‍යය. අනෙක් පැත්තෙන් ආර්ථිකමය කාරණා මුල්කරගනිමින් චීනය, ඇමෙරිකාව හා ඉන්දියාව අතර පවතින විරසකවල සටන් භූමියක් බවට මේ රට පත්වීමේ විශාල විභවතාවක් පවතින බව ද මෙහිදී අවධානයට ගත යුතු කාරණයක්ය. චීනයේ සහ ඉන්දියාවේ බලපෑමට වඩා බරපතළ තත්ත්වයක් ගොඩ නැගෙන්නේ ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව සිතන විටය. ඇමෙරිකාව පිළිගෙන තිබෙන්නේ ඔවුන්ගේ ඉන්දු පැසිෆික් සහයෝගීතාමය දේශපාලනයේ වැදගත් කෑල්ලක් ලංකාව සම්බන්ධව තිබෙන බවය. පසුගිය දවස්වල මේ රටේ තිබූ සාකච්ඡාව වූයේ ඇමෙරිකාවත් සමග මේ ආණ්ඩුව සිදුකරමින් යන ගිවිසුම් හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳවය. මේ කාරණය ආරක්ෂාවට පමණක් නොව මෙරට ජාත්‍යන්තර වෙළෙඳාම හා ජාත්‍යන්තර නීතියට ද සම්බන්ධ වී ඇති බව තේරුම් ගැනීම අවශ්‍යය. ඒ අර්ථයෙන් මීළඟ ජනාධිපතිවරයා යනු බටහිර සමාජය සමඟ ආචාරශීලිවීම පමණක් සෑහෙන්නේ නැති උපක්‍රමික මැදිහත්වීමක් කළ හැකි අයකු වීම අවශ්‍යම තත්ත්වයක් බව මගේ අදහසය. ඒ අර්ථයෙන් මේ ජනාධිපතිවරණය ඉතාමත් වැදගත් එකක් බව කිව යුතුමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්