(තරිඳු ජයවර්ධන)

tharindudld@gmail.com

මන්නාරම සමූහ මිනීවළෙන් ලබා ගත් අස්ථි සාම්පල සම්බන්ධ කාබන් පර්යේෂණ වාර්ථාව ඉකුත් 14 වැනි දා ලැබීමට නියමිතව තිබිණි. වසරකට ආසන්න කාලයක් තිස්සේ කළ කැණීම් තවමත් අවසන් නැත. මෙම ලිපිය මන්නාරම සමූහ මිනීවළ පිළිබඳවයි.

ඒ 2018 වසරයි. මන්නාරම නගර මධ්‍යයේ පිහිටි තනි මහලේ සතොස ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා එය මහල් තුනක් දක්වා පුළුල් කිරීමට තීරණයක් ගෙන තිබිණි. එම තීරණය ක්‍රියාවට නැංවීම ආරම්භ කැරුණේ 2018 මාර්තු මාසයේ දී ය. ඒ 14 මැදවච්චිය තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයට මුහුණ ලා තිබූ සතොස ගොඩනැගිල්ලේ වම්පස මායිම වූයේ මාළු වෙළෙඳපොළ වීදියයි. පිටුපස මායිම වූයේ පළමු වන බසාර් වීදියයි. (පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ පැරණි සතොස ගොඩනැගිල්ලයි)

(සතොස ගොඩ නැගිල්ල කලින් තිබූ අයුරු )

තෙමහල් සතොස ගොඩනැගිල්ලේ කැණීම් කටයුතු කිරීම මාර්තු මැද දී ආරම්භ කළ අතර හෑරීමෙන් පසු එතැන තිබූ පස්වලින් කොටසක් සතොසට අයත් අංගනයකට ගෙනගොස් දැමීය. පෞද්ගලික ආයතනවලට සහ පුද්ගලයන්ට ද පස් ලබා ගැනීමේ හැකියාව තිබුණු අතර කිහිප දෙනෙක් එලෙස පස් මිලදී ගත්හ. ඒ අතර මන්නාරම එමිල්නගර්හි වැසියෙක් ද විය. 

දිනය 2018 මාර්තු මාසයේ 26 වැනි දා ය. එමිල්නගර්හි පස් මිලදී ගත් නිවැසියා මිදුලේ තිබූ පස් ගොඩ තුනී කරමින් සිටියේය. එම පස් අතර තිබූ අස්ථි කොටස් කිහිපයක් දුටු ඔහු වහාම මන්නාරම පොලිසියට ගොස් පැමිණිල්ලක් කරමින් ඒ බව දැනුම් දුන්නේය.  මන්නාරම පොලිසිය ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්ථාවක් මගින් දැනුම් දුන්නේය. එම දැනුම් දීම මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතාට නියෝග කළේය.


 (අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා)

සමින්ද රාජපක්ෂ මහතා වැඩ පටන් ගත්තේ එතැන් සිටය. ඒ සම්බන්ධයෙන් සමින්ද රාජපක්ෂ මහතා කියන කතාව මෙසේය.

“මාර්තු මාසයේ අග දිනයක අපි එම ස්ථානට ගොස් ස්ථානීය පරීක්ෂණයක් කළා. එම ස්ථානයේ අස්ථි කොටස් තිබෙන බවත්, ඒ අස්ථි කොටස් මිනිස් අස්ථි කොටස් බවත් හඳුනාගෙන මම ඒ බව මහේස්ත්‍රාත්වරයාට දැනුම්දුන්නා. අපරාධ පරීක්ෂණයක් ලෙසයි අපි එම ස්ථානයේ පර්යේෂණය කළේ. එම නිවසට ගෙන ගොස් තිබුණු පස් කියුබ් තුන හමාරක පමණ ප්‍රමාණයක් සුද්ධ කරලා එහි තිබී දත් ඇතුළු සියලු අස්ථි කොටස් සහ අනිකුත් සාක්කි එකතු කර ගත්තා. ඒ සියල්ල ආරක්ෂිතව ගබඩා කර මෙම පස් ලබා ගත් ස්ථානය පරීක්ෂා කිරීමට අවශ්ය  බව මා මහේස්ත්රාලත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා, පොලිසිය ඇතුළු නිලධාරීන් ඉදිරිපිට සතොස ගොඩනැගිල්ල ඉදි කිරීමට නියමිත ස්ථානය පරීක්ෂා කළා. ප්‍රදේශයේ තවදුරටත් අස්ථි කොටස් තිබෙන බව හඳුනා ගත්තා. එය එක කොටසක් විනාශ වෙලා ගිය ප්‍රදේශයක්. මොකද බැකෝ යන්ත්රතයකින් පස් කපලා තිබුණේ. ඊට පහළින් තිබුණු කොටස හානි නොවුණු ප්‍රදේශයක්. එහි අස්ථි කොටස් නිරුපද්‍රිතව තිබෙන බව හඳුනා ගත්තා. ඉදිරියට විමර්ශන සිදු කරන්න මහේස්ත්‍රාත්වරයා නියෝග කළ පසු සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කළා” 


 (කැනීම් සිදුකරන අයුරු)

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් පසු මෙම කැණීම් කටයුතු සඳහා සහභාගී විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට සිදු විය. මෙය යුද්ධය පැවැති ප්‍රදේශයක් වීම නිසා විවිධ පාර්ශ්ව විවිධ දේවල් කියන්නට වූහ. විමර්ශන ඇරඹීමටත් පෙර සිටම ඒ ගැන විවිධ මත පළකරන්නට වූහ. එම නිසා මෙම විමර්ශනයේ නිවැරදිබව සහ විනිවිදබව පිළිබඳව සැලකිලිමත් වීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා තේරුම් ගෙන තිබිණි. කැණීම්වලදී පොඩි කොටසක් හෝ විනාශ වුවහොත් යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා මෙම කටයුතුවලට මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති පිරිසක් තෝරා ගැනීමට අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද මේ සඳහා සම්බන්ධ කර ගත්තේය. පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහයෝගය මෙම කටයුත්තට සඳහා ලැබිණි. ඒ අනුව 2018 මැයි 28 වැනි දා සිට කැණීම්  කටයුතු ආරම්භ කළේය. ඉන් පසු කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමින්ද රාජපක්ෂ මහතා මෙසේ කීවේය.


 (සොයා ගත් ඇටසැකිලිවල කැණීම් අතරතුර)

“එක ප්‍රදේශයක් බැකෝ යන්ත්‍ර  දැමීම නිසා විනාශ වුණු පැත්තක්. මේ විමර්ශනයේ දී හරස්කඩ සහ දික්කඩ හරියටම පරීක්ෂා කළ යුතුයි. මේ සඳහා අපිට මායිම් සොයා ගැනීම අවශ්යත වෙනවා. මායිම සුද්ධ කර බලද්දි අපිට හඳුනා ගන්න පුළුවන් වුණා එතැනත් මිනිස් අස්ථි කොටස් තිබෙනවා කියලා. එය හානි නොවුණු (බැකෝ යන්ත්‍ර නිසා) ප්‍රදේශයක්. පළමුවෙන්ම එම  ප්‍රදේශයේ කැණීම් කළ යුතු බව අපි තීරණය කළා. කැණීම් සිදු කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යානුකූල ආකාරයටයි. මේ වන විට (පෙබරවාරි 13) අපි දවස් 144ක් වැඩ කරලා තිබෙනවා. අද වන විට 321 දෙනකුට අයිති යැයි සැලකෙන අස්ථි සොයාගෙන තිබෙනවා. සම්පූර්ණ ඇටසැකිලි හා අසම්පූර්ණ ඇටසැකිලිත් ඒ අතර තිබෙනවා. එලෙස 321 දෙනකුගේ ඇටසැකිලි සොයාගෙන තිබෙනවා. 

මුලින්ම කැණීම් කරලා අස්ථි කොටස් හා වෙනත් ද්‍රව්‍ය සොයා ගැනීම කරනවා. ඒවායේ ඡායාරූප ගන්නවා. දෙවැනි අදියර තමයි මේ ස්ථානයෙන් සොයා ගන්නා අස්ථි කොටස් සහ සාක්කි විශ්ලේෂණ සඳහා යොමු කිරීම. මේ අවස්ථාවේ කැණීම් කටයුතු පමණයි කරගෙන යන්නේ. අස්ථි විශ්ලේෂණයේදී තමයි සම්පූර්ණයෙන් කියන්න පුළුවන්, වයස් සහ ගැහැනු පිරිමි බව ගැන. ඒ වගේම රෝගාබාධ ගැන. නමුත් පැහැදිලිවම වැඩිහිටි සහ ළමයි විදියට වෙන් කර ගත්තු 28 දෙනෙකුගේ සැකිලි ළමයින්ගේ කියලා හඳුනාගෙන තිබෙනවා .” 

සතියේ වැඩකරන දිනවල දී පමණක් මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරයි. මේ වන විට කැණීම් කරන ප්‍රදේශයේ වපසරිය මීටර 11ක් පළල සහ මීටර 13ක් දිග ප්‍රදේශයකි. අස්ථි කොටස් ඉතාම සෙමින් සහ සීරුවෙන් පින්සල් ආදියෙන් සුද්ධ කරමින් පිරික්සන අයුරු  දැක ගත හැකි විය. කැණීම් කරන ප්‍රදේශය ඒ 14 මාර්ගය ආසන්නයටම පැමිණ තිබේ. කැණීම් සඳහා මාර්ගය කැඩීමට සිදුවේදැයි ඇසූ විට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා මෙසේ කීවේය.

“මේක අපරාධ විමර්ශනයක් ලෙසයි කරගෙන යන්නේ. ඒකෙදි අවශ්‍ය සියලුම දේවල් කරන්න වෙනවා. පැහැදිලිව හොයාගන්න පුළුවන් වුණොත් අස්ථි කොටස් පාරට එහායින් විහිදෙනවා කියලා පාරට හානියක් කරනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගන්න වෙනවා. ප්‍රමුඛත්වය දිය යුත්තේ අපරාධ විමර්ශනයටයි. මහේස්ත්‍රාත්තුමා සහ අනිකුත් ආයතන සමඟ සාකච්ඡා කරලා අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒ ප්‍රදේශයේත් කැණීම් කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. තවම ඒ ගැන තීරණයක් නෑ. 


(සොයාගත් අස්ථි කොටස් කිහිපයක්)

කාල නිර්ණය සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණයක් සිදු කිරීමට ලංකාවේ පහසුකම් නැත. එම නිසා අදාළ සාම්පල වෙනත් රටකට යවා කාලය නිර්ණය කර ගැනීමේ අවශ්යමතාව මතු විය. ඒ අනුව පැවැත්වූ සාකච්ඡාවලදී ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බීටා ඇනලටික් ආයතනයකට අස්ථි කොටස් යැවීමට තීරණය විය. ලංකාවේ පළමු සමූහ මිනීවළ මෙය නොවේ. මීට පෙර සොයා ගත් මිනීවළවල් කිහිපයක් දේශපාලන කරලියේ මහත් ආන්දෝලනයක් ගෙන දුන්නේය. සූරියකන්ද සමූහ මිනීවළ ඉන් එකකි. 1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඇගේ සටන් පාඨ අතර පෙරමුණ ගත්තේ සූරියකන්ද සමූහ මිනීවළයි. ඉන් පසු පසුගිය ආණ්ඩු සමයේ මාතලේ සමූහ මිනීවළ කරලියට ආවේය. ඒ නිසා මෙම සමූහ මිනීවළ සම්බන්ධ පරීක්ෂණ ඉතාම විනිවිද භාවයෙන් කිරීමේ අවශ්‍යතාවට අධිකරණ වෛද්‍ය  විශේෂඥවරයාට දැණිනි. ඔහු ඒ ගැන මෙසේ කීවේය.

“අපි විමර්ශකයන් විදියට විනිවිදභාවය පවත්වාගෙන යා යුතුයි. මෙතනින් ලබා ගත් සාම්පලයමද අදාළ පර්යේෂණයට ගියේ කියලා කාට හරි ප්‍රශ්නයක් ඇති නොවන විදියට වැඩ කටයුතු කළ යුතුයි. ඒ නිසා මෙහි ප්‍රධාන විමර්ශකයා විදියට අදාළ සාම්පල සියලු දෙනා ඉදිරියේ ලබා ගත්තේ මම. මහේස්ත්‍රාත්තුමා ඇතුළු සියලු දෙනා ඉදිරියේ සාම්පල සීල් තිබ්බෙත් මම. ඒ වගේම අදාළ ආයතනයට සාම්පල මම විසින්ම ගෙනැවිත් බාර දෙනු ලැබිය යුතුයැයි තීරණයකට ආවා. සියලු දෙනාම ඒකට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්යත ප්‍රතිපාදන අතුරුදන්වූවන්ගේ කාර්යාලයෙන් දැරුවා. විනිවිදභාවය පෙන්නුම් කරන්න අවශ්‍ය වුණා. එම අතුරුදන් වූවන් සඳහා වන කාර්යාලයේ කොමසාරිස්වරයෙකු වන මිරාක් රහීම් මහතාත් මේ ගමනට සහභාගී වුණා.  ඊට අමතරව මන්නාරම ප්‍රදේශයේ අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දෙදෙනකුත් සහභාගී වුණා. ඔවුන්ගේ කිසිම මැදිහත්වීමක් වුණේ නෑ. ඔවුන් නිරීක්ෂකයන් විදියට පමණයි සහභාගී වුණේ. පොලිස් ආරක්ෂාව ඇතිව කටුනායක ගුවන්තොටුපොළට සාම්පල ගෙනැවිත් දුන්නා. එතැනින් මම බාරගත්තා. එතැන් සිට මගේ අතේමයි සාම්පල ගෙනිහින් අදාළ ස්ථානයට භාර දුන්නේ. ”

 (සතොස තිබූ ස්ථානය දැන් දිස්වෙන ආකාරය)

මෙම ස්ථානයේ ඇති අස්ථි කොටස් සියල්ල සොයාගත්තායින් පසු ඒ සියල්ල විශ්ලේෂණය කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතය. මෙතැන පිරිමි සහ කාන්තාවන් කොපමණ ඉන්නවාද යන්න සහ අස්ථි බිඳී ගොස් ඇත්නම් ඊට හේතුව කුමක්ද ආදිය තීරණය කළ හැකි වන්නේ එම විශ්ලේෂණයේ දී ය. එය ඉදිරියේ සිදුකෙරනු ඇත.

මේ වන තෙක් සියලු කටයුතු සිදුවී ඇත්තේ ඉතාම විනිවිදභාවයෙනි. එය ඉදිරියටත් තහවුරුකර ගනිමින් විමර්ශන සිදු කරන බව මෙහි ප්රිධාන විමර්ශන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා කියයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අපරාධ ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු විය යුත්තේ කෙසේදැයි යන්න ගැන හොඳ පූර්වාදර්ශ සිද්ධියක් ලෙස ඇතැම් විට අවසානයේ මන්නාරම සමූහ මිනීවළේ විමර්ශනය ඉතිහාස ගත වනු ඇත.

“ක්‍රියාකාරී නිරීක්ෂකයන් ලෙස කටයුතු කළා”
- අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් -

“මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රධාන වශයෙන් කළේ මිනීවළ හෑරීම සහ ඇටසැකිලි ගොඩගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයාට අවශ්යක වියදම් පියවීමයි. දෛනික වියදම් වගේම ගොඩ ගත්ත ඇටසැකිලි සාම්පල පර්යේෂණාගාරවලට යැවීම සඳහා වන වියදම් අපේ කාර්යාලයෙන් පියෙව්වා. එසේ කළේ නැතිනම් මේ ක්‍රියාදාමය අඩාල වෙන්න ඉඩ තිබ්බා. පනත යටතේ අපට පැවරිලා තිබෙන එක කාර්යක් තමයි මිනී වළවල් තියෙනවා නම් ඒවා ගොඩගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන්ගෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. අපට නිරීක්ෂකයන් ලෙස කටයුතු කරන්නත් පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී නිරීක්ෂකයන් විදියට සහභාගී වුණා. මෙම පරීක්ෂණවල මූලිකත්වය ගන්නේ මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතායි. කාබන් දින පරීක්ෂණ වාර්තා ලැබුණු පසු අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා සහ ඔහුගේ කණ්ඩායම ඒ දත්ත ඇසුරෙන් පූර්ණ වාර්තාවක් සකස් කළ යුතු වෙනවා. ඒ පරීක්ෂණ වාර්තාවට පස්සේ තමයි ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමාට තීරණය කරන්න වෙන්නේ. කාබන් දින පරීක්ෂණයේ ප්‍රතිඵලයත් ඊට වැදගත් වෙනවා. මෑත කාලයේ ඇටසැකිලිත් තිබෙන බවට කාබන් පරීක්ෂණයේදී තහවුරු වුණොත් ඉන් පසු කල්පනාකරන්න වෙනවා කොහොමද හඳුනාගැනීම් කරන්නේ කියලා. එය දෙවැනි අදියරයි. හඳුනාගැනීම සඳහාත් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ ඩීඑන්ඒ සාම්පල පරීක්ෂණයක් කරන්න වෙයි. ”


ඇතුලුවීම තහනම් කළ දැන්වීම