බලශක්තිය රටේ ආර්ථිකයට ඉතා වැදගත් ලෙස බලපාන සාධකයකි. බලශක්තිය නිපදවා ගන්නේ කෙසේද යන්න මත රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ තීරණය වෙයි. ලංකාවේ බලශක්ති නිපදවන ක්‍රම කීපයකි. රටේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක් නිපදවන්නේ ජලයෙනි. සියයට 30ක් නිපදවන්නේ ගල් අඟුරුවලිනි. තවත් සියයට 30ක් නිපදවන්නේ ඩීසල්වලිනි. අනෙක් සියයට 10 නිපදවන්නේ සාම්ප්‍රායික නොවන පුනර්ජනනීය බලශක්ති මාර්ගවලිනි. හිරු එළිය, සුළඟ, කුඩා ජල විදුලි හා ස්වාභාවික ගෑස් (ඛගභගඨග) යනාදිය මගින් දැනට නිපදවන්නේ රටේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 10ක් පමණකි. එයින් වඩාත් හොඳින් පැහැදිලිවන්නේ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවලින් දැනට නිපදවන්නේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණක් බවය. එනම් සියයට 30ක් මහා පරිමාණ විදුලිබලාගාරවලිනුත් තවත් සියයට 10ක් හිරු එළිය, සුළං, කුඩා ජල හා ජීව වායු වලිනුත් නිපදවන බවය.

ජල විදුලිය නිෂ්පාදනය තවදුරත් පුළුල් කළ නොහැකිය. මහා පරිමාණ ජල විදුලිබලාගාර ඉදිකිරීමට සුදුසු තැන් රටේ තවත් නැත. කුඩා විදුලි බලාගාර ඉදිකිරීමේ හැකියාව ද ක්‍ෂය වෙමින් පවතින අතර සීමිත හැකියාවක් තිබෙන්නේ ඉතා කුඩා ජල විදුලිබලාගාර ඉදිකිරීමටය. එයද ඉතා සීමිතය. ඒ තරමටම ඉතා කුඩා දිය පහරවල් පවා හරස් කර විදුලිබලාගාර ඉදිකර තිබේ. එසේ නම් විදුලිය වැඩි වැඩියෙන් නිපදවිය හැක්කේ කුමන මාර්ගයකින්ද? ඒ මාර්ගයෙන් විදුලිය නිපදවීමෙන් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි සලකා බැලිය යුතුය. ගල් අඟුරු හා ඩීසල් බලාගාර ඉදිකිරීම ආරම්භ කරන දිනයේ සිටම සිදුවන්නේ රටේ ප්‍රාග්ධන ගිණුමේ තිබෙන ඩොලර් රටෙන් එළියට යාමය. පසුගිය අයවැයට ටික කලකට පසු ලංකාවට වාහන ගෙන්වීම නතර කළේ රටින් පිටට ඩොලර් ඇදී යාම වැළැක්වීමටය. ගල් අඟුරු, ඩීසල් හා ස්වභාවික ගෑස් (ඛගභගඨග) යන කවර ක්‍රමයකින් විදුලිය නිපදවීමට යොමු වුවත් ඒ යොමුවන දිනයේ සිට රටේ ඩොලර් සංචිතය ක්‍ෂය වෙයි. සංචිතයේ තිබෙන ඩොලර් දිනපතා රටින් පිටට ඇදී යයි.

ලංකාවේ ඩොලර් නෝට්ටු අච්චු ගසන්නේ නැත. ලංකාවට ඩොලර් නෝට්ටු රැගෙන එන්නේ ගමේ ගොඬේ සිරියාවතීලා සහ රම්බණ්ඩලාය. ඔවුන් මැද පෙරදිග රටවලට ගොස් ඒ රටවල ගෙවල්වල බැල මෙහෙවර කරමින් රියැදුරු රැකියා කරමින් සනීපාරක්‍ෂක කම්කරු රැකියා කරමින් උපයා ඉතිරි කර එවන සල්ලි එකතු වන්නේ අපේ ඩොලර් සංචිතයටය. තේ, රබර්, පොල් හා ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉතා පුංචිය. තේ, රබර්, හා පොල්වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය දැන් වේගයෙන් අඩු වෙමින් පවතී. අතීතයේ සතියේ දවස් හතම ක්‍රියාත්මක වූ පොල් කර්මාන්තශාලා දැන් ක්‍රියාත්මක වන්නේ සතියකට දින දෙකකි. පොල් පලදාව ඒතරමටම අඩුවී තිබේ. දේශපාලකයන් හා සුදු කරපටි රැකියා කරන්නන් ඩොලර් උපයන්නේ නැත. ඇත්තෙන්ම ඔවුන් කරන්නේ මැදපෙරදිග රටවල කඹුරන මිනිසුන් උපයන ඩොලර් ක්‍ෂය කිරීමය.

බෙහෙත්, ආහාර බලශක්තිය හා ජලය රටක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය පසුගිය අවුරුදු පහේදී කිසිම විශාල බලාගාරයක් ඉදිකෙරුණේ නැත. 2016 දී ටෙන්ඩර් කළේ එකම එක බලාගාරයකි. ඒ මෙගාවොට් 300ක කෙරවලපිටිය බලාගාරයයි. එය මුලදී අවුරුදු දෙකක් ඩීසල්වලින් විදුලිය නිපදවන අතර ඊට පසුව ස්වාභාවික ගෑස්වලින් විදුලිය නිපදවීමට යොමුවෙයි. එහෙත් ඒ බලාගාරය ද තවමත් 2016 සිටම යෝජනාවක් පමණකි. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඒ තරම් කාර්යක්‍ෂමය. ඒ බලාගාරය ඉදිකිරීම ආරම්භ කළ ද ඒ ඉදිකිරීම් නිම කිරීමට අවුරුදු දෙකක් යයි. අප දැන් සිටින්නේ 2019 ය. ඒ බලාගාරයේ ඉදිකිරීම් මේ 2019 ආරම්භ කළහොත් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ 2021 දීය. ලංකාවේ විදුලි අවශ්‍යතාව සෑම අවුරුද්දකදීම මෙගාවොට් 200කින් වැඩි වෙයි. එනම් රටේ විදුලියට තිබෙන ඉල්ලුම වාර්ෂිකව සියයට හතකින් පමණ ඉහළ යයි. ඇත්තෙන්ම ඉදිරියේදී විදුලි ඉල්ලුම තව තවත් ඉහළ යනවා මිස අඩුවන්නේ නැත. රටේ ජනතාවගේ ජීවන රටාවේ වෙනස්වීම් හා රටපුරා ඉදිකෙරෙන මහා ගොඩනැගිලි දෙස බැලීමෙන් එය මැනවින් අවබෝධ කරගත හැකිය.

එසේ නම් වාර්ෂිකව ඉහළ යන විදුලි අවශ්‍යතාව සපුරන්නේ කෙසේද යන්න රටේ අද පවතින තත්ත්වය අනුව බරපතළ කාරණයකි. පසුගිය අවුරුදු හතරේදී දිගින් දිගටම සිදු වූයේත් අද සිදුවෙමින් පවතින්නේ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමය. 2016 දී රුපියල් බිලියන 16.3ක විදුලිය මිලදීගෙන තිබේ. 2017 දී රුපියල් බිලියන 27.8ක විදුලිය මිලදීගෙන තිබේ. 2018 දී රුපියල් බිලියන 41.6ක විදුලිය මිලදීගෙන තිබේ. මේ 2019 දී රුපියල්  බිලියන 101 ක විදුලිය මිලදී ගැනීමට සිදුවෙතැයි අපේක්‍ෂා කරයි. ලංකා විදුලි බල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලසුමේ (ඛදබට ඔැරප ඨැබැර්එසදබ ෑංච්බිසදබ ඡක්බ) දැනට පවතින්නේ පෞද්ගලික අංශයෙන් හදිසියේ විදුලිය මිලදී ගැනීම පමණකි. ලංවිමට මෙගාවොට් 2400ක ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට ලොකු සැලැස්මක් තිබේ. එහෙත් ප්‍රායෝගිකව සිදුවන්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම පමණකි. එය ද වාර්ෂිකව ඉහළ යයි. 2016 සිට 2019 වනවිට එය මෙගාවොට් 150 සිට 700 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මිලදී ගැනීමට ගිය වියදම රුපියල් බිලියන 16.3 සිට 101 දක්වා ඉහළ යයි. එසේ නම් ලංවිමත් රජයත් තවදුරටත් පාර කපන්නේත් කැපූ පාර පළල් කරන්නෙත් ගල් අඟුරු හා ඩීසල් විදුලිය වෙනම නොවන්නේද? ඩීසල් හා ගල් අඟුරු රටේ නිපදවන්නේ නැත. ඒවා එතෙරින් ආනයනය කළ යුතුය. ඒ සඳහා වැය වන්නේ ඩොලර්ය. ලංවිම හෝ රජය ඩොලර් උපයන්නේද නැත.

ලෝකයේ සෑම රටක්ම දැන් පුනර්ජනනීය බලශක්තිවලට යොමුවෙමින් සිටියි. ලංකාවේ ලොකු අයියා වන ඉන්දියාව ද දැන් ඒ දෙසට යොමු වෙමින් සිටියි. ඉන්දියාවේ මධ්‍යම විදුලිබල අධිකාරිය (ක්‍ැබඑර්ක ෑකැජඑරසජසඑහ ්මඑයදරසඑහ) පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවකට අනුව එරට දැනට රටේ විදුලි අවශ්‍යතාවෙන් සියයට 74ක් නිපදවන්නේ ගල් අඟුරුවලිනි. එහෙත් 2029/30 වනවිට ගල් අඟුරුවලින් නිපදවන විදුලිය ප්‍රමාණය සියයට 50ක් දක්වා අඩු කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. අද වන විට ඉන්දියාවේ හිරු එළියෙන් නිපදවන විදුලිය ප්‍රමාණය එරට ජාතික අවශ්‍යතාවෙන් සියයට 8ක් වන අතර 2025/30 වනවිට එය සියයට 36ක් දක්වා ඉහළ නැංවීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. ඉන්දියාව ගල් අඟුරු නිපදවන රටකි. එහෙත් ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම අඩුකර හිරු එළියෙන් වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට ඒ රට සැලසුම් කර තිබේ. 

ලංකාව දිගින් දිගටම ඩීසල් හා ගල් අඟුරු සරණ ගියාට ලෝකය යන්නේ කොහාටදැයි ඉන්දියාවේ ඒ උදාහරණයෙන් මැනවින් අවබෝධ කරගත හැකිය. ජර්මනිය ඇතුළු යුරෝපයේ අනෙක් රටවල ද ඇත්තේ මේ ප්‍රවණතාවමය. ඉන්දියාව ගල් අඟුරු නිපදවන රටක් වුවත් ගල්අඟුරුවලින් විදුලිය නිපදවීම ක්‍රමයෙන් අඩු කිරීමට සැරසෙයි. එසේ කටයුතු කරන ඉන්දියාව ලංකාවේ ගල්අඟුරු බලාගාර ඉදිකිරීමට සැරසෙන්නේ යම් අරමුණු සහිතව නොවන්නේද? ඕස්ටේ්‍රලියාවද ගල් අඟුරු නිපදවන රටකි. එහෙත් එරටද පසුගිය කාලයේ ගල් අඟුරු බලාගාර 70කට අධික ගණනක් වසා දැම්මේය. ගල් අඟුරු නිපදවන රටවල් ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් ඉවත් වෙද්දී රටින් ගල් අඟුරු ගෙනැවිත් විදුලිය නිපදවීමට මෙරට නිදහස් අධ්‍යාපනයේ දරුවෝ දිගු කාලීන සැලසුම් (ඛදබට ඔැරප ඨැබැර්එසදබ ඡක්බ) සකස් කරති. එසේ කරන්නේ කුමකටද? රටට හා ජනතාවට ආදරයෙන්ද? එසේ නම් ගල්අඟුරු නිපදවන රටවල් ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් ක්‍රමයෙන් ඉවත් වන්නේ ඒ රටවල ජනතාවට ආදරය නොකරන නිසාද? රටක් ලෙස අප බැලිය යුත්තේ අපේ ඩොලර් සංචිතය රැකගැනීමටය. ඒ සංචිතයට තව තවත් ඩොලර් ගොඩ ගැසීමය. එහෙත් අපේ ඉංජිනේරුවරුන් ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සකසන්නේ තියෙන ඩොලර් ටිකත් රටින් පිට කිරීමටය.

ජලයෙන් හිරු එළියෙන් හෝ සුළං බලයෙන් විදුලිය නිපදවන්නේ ලාංකිකයකු නම් ඔහුට කීයක් හෝ වැඩියෙන් ගෙවා එය කරවීමේ වාසිය රටටය. ඒ ව්‍යාපාරිකයා රැකියා දෙන්නේ ලාංකිකයන්ටය. ඔහු රජයට බදු ගෙවන්නේය. මැති ඇමැතින් හා රජයේ නිලධාරීන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල්වලිනි. පුනර්ජනනීය ක්‍රමවලින් විදුලිය නිපදවීම භාර දිය යුත්තේ ද ලාංකිකයන්ට මිස විදේශිකයන්ට නොවේ. මක්නිසාද යත් විදේශිකයන් මෙරටදී හම්බ කරන මුදල් ඔවුන්ගේ රටවලට රැගෙන යන නිසාය. මහ ජනයාට ආදරය කරන ආණ්ඩු, මැති ඇමැතීන් හා නිලධාරීන් සලකා බැලිය යුත්තේ රටේ සල්ලි යන්නේ කොහාටද යන්න පිළිබඳවය. රටේ ජනගහනය මිලියන 21කි. ඒ සෑම පුරවැසියකුම රුපියල් ලක්‍ෂ පහකට වැඩි ණය කාරයෙකි. රටේ ජනතාව එවැනි තත්ත්වයකට ඇද දැම්මේ බලයේ සිටි ආණ්ඩුය. ඉතින් මේ ණයෙන් ජනතාව මුදාගන්නේ කවදාද? කොහොමද? තියෙන ඩොලර් ටිකත් ඩීසල් හා ගල් අඟුරු ආනයනය කිරීමට රටින් පිටට යැවූ විට මේ ණය උගුලෙන් ජනතාව හා රට ගලවා ගන්නේ කොහොමද?

විදුලිබල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය ඒකකයක් (යුනිට් එකක්) නිපදවීම රුපියල් 23.82 ක් වැය වන බවයි. එහෙත් මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්නේ ඒකකයක් රුපියල් 26 බැගිනි. එහෙත් එය ව්‍යාජ ගණනකි. නියම ලෙස ගණන් හදා බැලුවොත් මණ්ඩලය මිලදී ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 40කට වැඩිය. පෞද්ගලික බලාගාරවලට සපයන ඩීසල්වලින් බදු අය නොකරයි. එසේම ඒ සමාගම් රජයට ආදායම් බදු නොගෙවයි. සියල්ල නිවැරැදි ලෙස ගණනය කළහොත් පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලදී ගන්නා විදුලි ඒකකයකට රුපියල් 40කට වැඩියෙන් ගෙවන බව අනාවරණය කරගත හැකිය. පෞද්ගලික ඩීසල් බලාගාරවලට එසේ ගෙවන ආණ්ඩුව හිරු එළියෙන් නිපදවන විදුලි ඒකකයකට ගෙවන්නේ රුපියල් 22කි. ඒ මුදල ගෙවන්නේද මුල් අවුරුදු හතරේදී පමණය. පස්වැනි අවුරුද්දේ සිට ගෙවන්නේ ඒකකයකට රුපියල් 15.50 බැගිනි. විදුලිබල මණ්ඩලයට අයිති ජල විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට යන මුදල රුපියල් 3.80කි. ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවීමට යන මුදල රුපියල් 10කි. එහෙත් ඩීසල් මාෆියාවට ඒකකයකට රුපියල් 40කට වැඩියෙන් ගෙවයි. ඉදින් හිරු එළියෙන් විදුලිය නිපදවනවාට මාරාන්තික විරෝධයක් දක්වන්නේ ඇයි දැයි සිතාගත නොහැක්කේ කාටද?

හිරු එළියෙන් විදුලිය මෙගාවොට් 1550 ක් නිපදවීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අනුමත කළ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක නොවී තිබෙන්නේ එසේ නිපදවන විදුලිය මිලදීගන්නා බවට ලංවිම ඒ ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් නොකිරීම නිසාය. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ රැසක් අමාරුවේ වැටී සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව 650කට ආසන්නය. මෙගාවොට් 1550ක් කියන්නේ අතිවිශාල විදුලිය ප්‍රමාණයකි. විදුලි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන්නේ අපේ රටට අවශ්‍ය තරම් විදුලිය හිරු එළියෙන් සුළඟින් හා ජලයෙන් නිපදවිය හැකි බවය. ජලයෙන් නිපදවිය හැකි උපරිමයට දැන් අපි ළඟාවී සිටිමු. ලංකාවේ විදුලිය තිබෙන නිවාස සංඛ්‍යාව ලක්ෂ 630කි. හිරු එළියෙන් විදුලිය නිපදවන පැනල සවිකර තිබෙන්නේ ඒ නිවාස අතරින් 21,000ක පමණකි. රංජිත් සියඹලාපිටිය හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් විදුලි බල අමාත්‍යවරුන් ලෙස සිටියදී සූර්යබල විදුලි සංග්‍රාමය දියත් කළේ රටේ අලුත් වෙනසක් කිරීමටය. ඒ ක්‍රියාදාමය නිසා සූර්ය පැනල සවි කිරීමේ කටයුතුවල නියුතුවන සමාගම් 250කට ආසන්න සංඛ්‍යාවක් බිහිවිය. ඒවායේ සේවය කරන පිරිස 10,000කට ආසන්නය. ඒ 10,000න් 900ක්ම ඉංජිනේරුවෝය. ඉංජිනේරුවරියන්ට රැකියා නොදීම මෙරට තිබූ බරපතළ ප්‍රශ්නයකි. සූර්ය බල සංග්‍රාමය නිසා ඒ ප්‍රශ්න සියල්ලට විසඳුම් ලැබිණි. එසේ ආරම්භ කළ ව්‍යාපාරිකයෝ රැසක් දැන් මැදපෙරදිග රටවලට ගොස් ඒ රටවල ද මේ කර්මාන්තයම කරගෙන යති. එහෙත් දැන් සිටින විදුලිබල ඇමැතිවරයා කරගෙන යන කටයුතුවලින් සිදුවන්නේ මේ කර්මාන්තය වැසී යාමය. දස දහසකට රැකියා නැතිවීමය. සූර්ය පැනල තම වහල මත සවිකරගත් 21,000කට යන එන මං නැතිකිරීමය.

අප නැවත නැවතත් කියන්නේ රටට අවශ්‍ය විදුලිය පුනර්ජනනීය ක්‍රම මගින් රට තුළම නිපදවා ගත හැකි බවය. විෂය පිළිබඳ ප්‍රවීණයෝ ද එය තහවුරු කරති. ගල් අඟුරු තිබෙන ඕස්ටේ්‍රලියාව හා ඉන්දියාව ගල්අඟුරුවලට පිටුපා හිරු එළිය දෙසට හැරෙන්නේ ඇයි? ලෝකයේ අනෙක් රටවල සිදුවන මේ වෙනස්කම් දෙස විදුලිබල ක්‍ෂේත්‍රයේ නිලබලධාරීන් ඇස් හැර නොබලන්නේ ඇයි? සූර්ය බල සංග්‍රාමය ආරම්භ කළේ 2016 අගෝස්තු 25 වැනිදාය. එහි අරමුණ වූයේ නිවාස ලක්‍ෂ 10ක් සූර්ය බල විදුලියෙන් සංතෘප්ත කිරීමය. එහෙත් අද වන විට සූර්ය විදුලිබල පැනල සවිකර තිබෙන්නේ නිවාස 21,000 ක පමණකි. ඉන් අනාවරණය වන්නේ මේ සංග්‍රාමය තව බොහෝ දුර යාමට තිබෙන බවය. එහෙත් අඛණ්ඩව ඒ ගමන නොයන්නේ ඩීසල් විදුලිය මිලදී ගැනීමට කෙළ හැලීම නිසාය. ලංවිම දිගින් දිගටම පාඩු ලබන්නේ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසාය. එමගින් මණ්ඩලයට පාඩු සිදු වුවද බොර දියේ මාළු බැලීමෙන් හොද්ද බොරකර ගන්නා අය මණ්ඩලයේ සේම විදුලි බල අමාත්‍යාංශයේද සිටින බව නොරහසකි. සූර්ය බල සංග්‍රාමයට අකුල් හෙළන්නෝ ඔවුහුය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්