ඔහු හිරියාල ප්‍රදේශයේ උපන් අයෙකි. තම ශරීර සනීපය ගැන නිතරම සැලකිලිමත්ය. පෝෂ්‍යදායක කෑම බීම වර්ග ආහාරයට ගත් නිසා නිරෝගී අයෙකි. හදිසි වැඩකට නගරයට ගිය දිනෙක කුසගිනි දැනී ආපන ශාලාවකට ගොඩ වැදුණේය.


‘‘ළමයො මට හොඳට හදපු සුප් එකක් ගේනවද? මම ටිකක් එළියට යනව. මේ මේසෙ උඩින් ඒක තියන්න. මම ඉක්මනට එනව’’ වේටර්, හා හොඳයි මහත්තයා මම ඒක ලෑස්ති කරන්නම් යැයි කීය.


එළියට ගිය ඔහු මේසය ළඟට ආවේ සුප් බීමේ අභිලාසයෙනි. ලොකු ප්ලාස්ටික් බදුනක සුදු පාට බීමක් තිබී ඉමහත් සතුටට පත්ව මේ ලොකු එකකටම හදලා තියෙන්නෙ යැයි මුමුනමින් පුටුවකට බර වූයේය. එහි ලොකු හැන්දක්ද වූ නිසා සුප් භුක්ති විඳීම පහසු විය. මුහුණ බෙරිකරගෙන තරමක් අප්පිරියාවකින් සුප් බොන අතර වේටර්තැන තවත් සුප් එකක් ගෙනාවේ ‘‘මෙන්න මහත්තයා නියම සුප් එකක් එළවළු හොඳට දාල හැදුවෙ’’ කියමිනි.


‘‘අප්පොච්චියේ මොනවද මේ බොන්නෙ? ඉඳුල් වතුර නේද? දැන් ඉතින් බඩේ රුදාව හැදිල තමයි නවතින්නෙ’’ හිස අත තබාගත් වේටර් පවසන විට ඔහු අන්දමන්ද වූයේය. 


‘‘මැදයි මට වෙච්ච දේ සුදු පාට හින්ද මමත් බීව. පිළුනු ගතිය මට හොඳටම දැනුණා. දැන් ඉතින් කරන්න දෙයක්   නෑ. ඔක්කාරෙටත් එනව වගෙයි. ඕක මට දැන් එපා ළමයො. වමනෙ කරන්නයි දැන් මට ඕනෑ’’ කඩිමුඩියේ ආපන ශාලාවෙන් පිට වූ ඔහු කෙළින්ම ගියේ වැසිකිළියටය.


ආපන ශාලාවේ සිටි සියලු දෙනාම මේ සිද්ධියෙන් විනෝද වූ අතර ගමටද ආරංචි ගියේ විදුලිවේගයෙනි. ඔහු ඉන්නා තැන සුප් ගැන පැවසුවොත් හොඳ හොඳ වචන වලින් දමා ගසන අයුරු දැක ගත හැකිය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත