මැදපෙරදිග රටවල සංචාරයක යෙදන යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී සිරියාවට ගොස් ඇමෙරිකන් හිතවාදී සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා හමුවිය. ඒ, යුක්රේනය සහ සිරියාව අතරේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.

සෙලෙන්සකී සිරියාවට පැමිණ ජනාධිපති අහ්මද් අල් ෂාරා හමුවන පළමු අවස්ථාව මෙයයි. සෙලෙන්ස්කීට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව ද පැවැසෙයි.

සෙලෙන්ස්කී මැදපෙරදිග රටවල සංචාරයක නියැලෙන්නේ ඇමෙරිකා ඊහ්‍රායල ඉරාන යුද් ගැටුම් මධ්‍යයේ, ඉරානයෙන් අසල්වැසි ගල්ෆ් රටවලට ප්‍රතිප්‍රහාර එල්ල වෙද්දීය. එම ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගල්ෆ් රටවලට යුක්රේන ඩ්‍රෝන තාක්ෂණය සහ හමුදා තාක්ෂණය ලබා දීම සම්බන්ධයෙන්, ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ සෙලෙන්ස්කී සාකච්ඡා පැවැත්වීය.

අහ්මද් අල් ෂාරා යනු අල් කයිඩා සටන්කාමී නායකයෙකි. 2024 දී සිරියානු ජනාධිපති බෂිර් අල් අසාද් පාලනය පෙරළා දැමීමට සිරියානු විපක්ෂයට සහාය දැක්වූයේ අල් ෂාරා සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම්ය.

අසාද් රුසියාවට පලා යෑමත් සමඟ විපක්ෂය සිරියාවේ රජයක් පිහිටුවීය. ජනාධිපති ධුරය හිමිවූයේ අහ්මද් අල් ෂාරාටය. අප් ෂාරා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග යහපත් සබඳතා පවත්වාගෙන යැයි ඒ සෞදියේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. ඇමෙරිකන් හිතවාදී බැවින්, අසාද් පාලන සමයේ සිරියාවට පැනවූ සම්බාධක පවා ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත.