යුරෝපා සංගමයේ පළමු ‘හවුල් සාමාජිකයා’ ලෙස කැනඩාව සම්බන්ධ කරගැනීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත. මෙය කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි ප්‍රමුඛ රජයේ දැඩි පැසසුමට හේතුවක් බව පැවැසෙයි.

නැගෙනහිර ප්‍රංශයේ, ස්ට්‍රාස්බර්ග් නුවර යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවැසුවේ, වර්තමාන භූදේශපාලනික අර්බුද සහ අභියෝග හමුවේ කැනඩාව සහ යුරෝපය එක්ව කටයුතු කිරීම දෙපාර්ශ්වයටම ශක්තියක් වනු ඇති බවය.

ආරක්ෂක කටයුතු, බලශක්තිය සහ වටිනා අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවත් පුළුල් කිරීමට යුරෝපා සංගමය ගත් මෙම තීරණය ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැහැදිලි කළේය.

යුරෝපා සංගමය යනු යුරෝපා මහාද්වීපයේ පිහිටි ස්වෛරී රටවල් 27 කින් සමන්විත ප්‍රබල දේශපාලන සහ ආර්ථික එකමුතුවය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපා රටවල් අතර සාමය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය තහවුරු කර ගැනීම අරමුණු කරගනිමින් මෙම එකමුතුව ඇති කර ගැනුණි. 

යුරෝපා සංගමයට අයත් රටවල් අතර ජනතාවට, භාණ්ඩවලට සහ මුදල්වලට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරීමට සහ වෙළඳාම් කිරීමට හැකියාව පවතින අතර, බොහෝ සාමාජික රටවල් යුරෝ පොදු මුදල් ඒකකය භාවිත කරයි.

කැනඩාව යුරෝපා සංගමයේ පූර්ණ සාමාජිකයකු වීමට අපේක්ෂා නොකරන බවත්, කැනඩාව ‘හවුල්’ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමය තීරණය කිරීම සම්බන්ධයෙන් කැනඩා වැසියන් වෙනුවෙන් තම ස්තුතිය පිරිනමන බව ද කාර්නි වැඩි දුරටත් කියා සිටියේය. කැනඩාවට ‘හවුල්’ සාමාජිකත්වය ලබා දීම එක රැයින් සිදු නොවනු ඇති අතර, ඊට යම් කාලයක් ගත වෙයි. 

යුරෝපා සංගමයට හිතවත් බටහිර බලවත් රටවල්, ‘හවුල්’ සාමාජිකයන් ලෙස බඳවා ගැනීමේ සංකල්පය යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලින් විසින් හඳුන්වා දෙනු ලැබූවකි. යුරෝපා කොමිසම යනු යුරෝපා සංගමයේ විධායක බලය ක්‍රියාත්මක කරන සහ නව නීති සම්පාදන සඳහා මුල් යෝජනා ඉදිරිපත් කරන ප්‍රධානතම ආයතනයයි. 

සාමාජික රටවල් නියෝජනය කරන කොමසාරිස්වරුන්ගෙන් සමන්විත මෙමඟින්, යුරෝපා සංගමයේ දෛනික පරිපාලන කටයුතු පාලනය කිරීම, පොදු ප්‍රතිපත්ති හා නීති ක්‍රියාත්මක කිරීම මෙන්ම සංගමයේ ගිවිසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සිදු කරයි

කැනඩාව සහ ඇමෙරිකාව අතරේ මේ වනවිට තීරු බදු සම්බන්ධයෙන් අර්බුදයක් පවතී. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසාධාරණ ලෙස කැනඩාවට තීරු බදු බැනවීම් කර ඇති බවට කැනඩාව චෝදනා නගයි. කැනඩාවට ‘හවුල්’ සාමාජිකත්වය ලබා දීමට යුරෝපා සංගමය තීරණය කිරීම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට හේතුවක් වී ඇත.