නාසා ආයතනයේ ‘ආටිමිස් 2’ මෙහෙයුම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමෙන් පසු පැයක් ගත වෙද්දී (ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 9.05 ට පමණ) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතුවේය. ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය ගැන ​ආඩම්බර වෙමින්, ට්‍රම්ප් එම ඓතිහාසික ගගන මෙහෙයුමට සම්බන්ධ වුණු නාසා ගගනගාමීන් තිදෙනාටත්, කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියාටත් සුබ පැතුවේය. දිවි පරදුවට තබා එම චන්ද්‍ර මෙහෙයුමට එක් වුණු ගගනගාමීන් සිවුදෙනා වීරයන් බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

ඉන්පසු ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන කතා කළේය. ඇමෙරිකාව ඉරානයට පහර දෙමින් යුද්ධය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ආරම්භ වීමෙන් පසු ට්‍රම්ප්, විටින් විට නොයෙක් නොයෙක් පරස්පර විරෝධී ප්‍රකාශ කළත්, ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අමතමින් සජීවීව ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය විය.

ට්‍රම්ප්ගේ කතාව පහත දැක්වෙයි.

‘මා ආදරණීය ඇමරිකානුවනි, සුබ සැන්දෑවක්. ආටෙමිස් 2 මෙහෙයුම සාර්ථකව ආරම්භ කිරීම සම්බන්ධයෙන් නාසා ආයතනයට සහ අපගේ නිර්භීත ගගනගාමීන්ට සුබ පතමින් මා මගේ කතාව ආරම්භ කරනවා. මිනිසුන් රැගත් චන්ද්‍ර යානයක් සඳ වෙත ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට එනවා. මෙය මීට පෙර කිසිදා සිදු නොවූ විස්මිත දෙයක්. එම ගගනගාමීන් සිව්දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි යැයි මා ප්‍රාර්ථනා කරනවා.

අප මේ මොහොත වෙද්දී, ලොව අංක එකේ ත්‍රස්තවාදී රාජ්‍යය වන ඉරානය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද හමුදාව ආරම්භ කළ ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුමට මාසයක් ගතවී තිබෙනවා. ගතවූ සති හතර තුළ අපගේ සන්නද්ධ හමුදා යුධ පිටියේදී අතිවිශාල ජයග්‍රහණ ලබාගත්තා. අද වන විට ඉරාන නාවික හමුදාව විනාශ වී අවසන්. ඔවුන්ගේ ගුවන් හමුදාව සුන්බුන් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ බොහෝ නායකයන් සහ ‘ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය’ මියගොස් අවසන්. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ පාලන මධ්‍යස්ථාන මේ වන විටත් විනාශ වෙමින් පවතිනවා.

යුද ඉතිහාසය තුළ සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සතුරෙකු මෙතරම් විනාශකාරී පසුබෑමකට ලක්වූ අවස්ථාවක් තවත් නැහැ. අප සතුරන් පරාජය වෙමින් සිටින අතර, මගේ ජනාධිපති ධුරය යටතේ පසුගිය වසර පහ පුරාම ඇමෙරිකාව ජයග්‍රහණය කළා සේම, දැන් පෙරටත් වඩා විශාල ලෙස ජයග්‍රහණය කරමින් සිටිනවා.

වෙනිසියුලාව ඉතා කෙටි කාලයකදී පාලනය කිරීමට අපගේ හමුදා කළ විශිෂ්ට කාර්යයට මා ස්තූතිවන්ත වෙනවා. එය ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ ඉතා වේගවත් හා බලවත් ප්‍රහාරයක්. මගේ පළමු ධුර කාලය තුළ අපගේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අද අප සතුව ලොව බලවත්ම හමුදාව තිබෙනවා. දැන් අපි වෙනිසියුලාව සමඟ එක්ව දැවැන්ත තෙල් හා ගෑස් නිෂ්පාදනයක් සිදු කරනවා. දැන් අප මැදපෙරදිග තෙල් මත යැපෙන්නේ නැහැ, නමුත් අපගේ මිත්‍ර පාර්ශවයන්ට උදවු කිරීමට අප සැමවිටම එහි රැඳී සිටිනවා.

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් තබා ගැනීමට ඉඩ නොදෙන බවට මා 2015 දී මැතිවරණ රැලිවලදී පොරොන්දු වුණා. වසර 47ක් තිස්සේ ඔවුන් ‘ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය’ යනුවෙන් කෑගසනවා. ඔවුන්ගේ ත්‍රස්තවාදී කල්ලි ඇමරිකානුවන් රැසක් මරා දමා තිබෙනවා. මෙම මිනීමරු පාලනය මෑතකදී ඔවුන්ගේම රටේ විරෝධතා දැක්වූ 45,000ක ජනතාවක් මරා දැමුවා. මෙවැනි පාලනයකට න්‍යෂ්ටික අවි තිබීම මුළු ලොවටම දරාගත නොහැකි තර්ජනයක්. මම එයට කිසිදා ඉඩ දෙන්නේ නැහැ.

මා මීට පෙර ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කළා. බැරැක් ඔබාමා ඔවුන්ට ඩොලර් බිලියන 1.7ක් මුදලින් ලබා දුන්නා. එය මහා ව්‍යසනයක්. එම ගිවිසුම පැවතුණා නම් අද වන විට ඉරානය සතුව දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාවක් පවතිනවා. මා ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට නියෝග කළා. අපගේ ‘බී-2’ බෝම්බ හෙලන යානා එම ස්ථාන සම්පූර්ණයෙන්ම අළු කර දැමුවා.

අපගේ අරමුණ ඉතා පැහැදිලියි. ඇමෙරිකාවට තර්ජනයක් විය හැකි ඉරානයේ සියලුම හැකියාවන් විනාශ කිරීම. මේ වන විටත් ඔවුන්ගේ නාවික සහ ගුවන් හමුදා විනාශ කර තිබෙනවා. මෙම සටනේදී දිවි පිදූ ඇමෙරිකන් වීරයන් 13 දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් වෙනුවෙන් අපි ආරම්භ කළ කාර්යය ඉතා ඉක්මනින් අවසන් කරනවා.

ඉරානය විසින් තෙල් නැව් වලට එල්ල කරන ප්‍රහාර නිසා ඉන්ධන මිල තාවකාලිකව ඉහළ ගොස් තිබෙනවා. නමුත් ඇමරිකාව අද ලොව අංක එකේ තෙල් හා ගෑස් නිෂ්පාදකයායි. අප සතුව ඕනෑ තරම් ඉන්ධන තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා අපට තෙල් අවශ්‍ය නැහැ. අප ඉරානය ආර්ථික වශයෙන් සහ මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන්ම දණගස්වා තිබෙනවා.

ඉදිරි සති දෙක තුන තුළ අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනවා. ඔවුන්ව නැවතත් ‘ගල් යුගයට’ ඇද දමනවා. පාලන තන්ත්‍රය වෙනස් කිරීම අපේ අරමුණ නොවුණත්, ඔවුන්ගේ නායකයින් මියගොස් ඇති බැවින් එය දැනටමත් සිදුවී තිබෙනවා. ඔවුන් එකඟතාවයකට නොපැමිණෙන්නේ නම්, ඔවුන්ගේ සියලුම විදුලි බලාගාර විනාශ කිරීමට අප සූදානම්.

මෙම මිලිටරි මෙහෙයුම ආරම්භ වී දින 32ක් වැනි කෙටි කාලයක් තුළ ඉරානය තවදුරටත් තර්ජනයක් නොවන මට්ටමට පත් කර තිබෙනවා. මෙය අපගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක්.

ඇමරිකාව පෙරට වඩා ආරක්ෂිත, ශක්තිමත් සහ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් වනු ඇති. එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට දෙවියන්ගේ පිහිටයි! ඇමරිකා එක්සත් ජනපදයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! ස්තූතියි.