ඩෙංගු වයිරසයට එරෙහිව, ජපානයේ ටකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති, සායනික පර්යේෂණවලින් ද සාර්ථක බව පෙන්නුම් කළ ‘කියුඩෙංගා’ නමැති එන්නතට, ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, ‘කියුඩෙංගා’ එන්නත, ඉන්දීය වෙළඳපොළට නිකුත් කිරීම සිදුවනු ඇත. ඉන්දියාව, ඩෙංගු මර්දන එන්නතකට අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් ද ඩෙංගු වයිරස ආසාදිතයන් වාර්තා වෙයි. රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ද දක්නට ලැබෙයි. මේ බව සැලකිල්ලට ගනිමින් ‘කියුඩෙංගා’ එන්නත සඳහා අනුමැතිය දීමට ඉන්දියානු ඖෂධ පාලක ජනරාල්වරයාගේ අවධානය යොමු වුණු බව මාධ්‍ය පවසයි.

අවුරුදු 4 ත් 60 ත් අතර ඕනෑම අයකුට ලබා දීමට සුදුසු මෙම එන්නත, මීට පෙර ඩෙංගු වැළඳී ඇතිද නැද්ද යන්න නොසලකා ලබා දිය හැකි වීම විශේෂත්වයකි.

මේ වනවිට නිපදවා ඇති ඇතැම් ඩෙංගු එන්නත් ලබා දීමට පෙර මීට පෙර ඩෙංගු වැළඳී ඇත්දැයි රුධිර පරීක්ෂාවන් මගින් තහවුරු කරගත යුතු වුව ද,  ‘කියුඩෙංගා’එන්නත ලබා ගැනීමට පෙර එවැනි පූර්ව පරීක්ෂණ අවශ්‍ය නොවන බව ටකේඩා සමාගම පවසා ඇත.

වසර 7 ක් තිස්සේ ලබාගත් පර්යේෂණ දත්ත මගින් තහවුරු වී ඇත්තේ, ඩෙංගු වයිරස ප්‍රභේද හතරටම එරෙහිව ආරක්ෂාව සැලසීමටත්, ඩෙංගු වයිරසය ආසාදනය වීම සහ රෝහල්ගත වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් මෙම එන්නත සමත් වන බව යැයි ටකේඩා සමාගම වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

2022 වසරේ දී පළමු වරට හඳුන්වා දුන් ‘කියුඩෙංගා’ එන්නත මේ වන විට ලොව පුරා රටවල් 43 ක අනුමත වී ඇති අතර, එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර ඇතැයි ද පැවැසෙයි.