ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) ඕමානයේදී පැවැත්වීමට නියමිතය. ඒ, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් අවසන් කිරීමේ අරමුණින්ය. 

ඇමෙරිකාව සහ ඉරානය අතරේ පසුගිය මාස කීපයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවැතිණි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දෙන බවට අනතුරු අඟවද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඊට ප්‍රතිචාර දැක්වූයේ ඇමෙරිකාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් බවය.

ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත් කලාපීය අර්බුදයක් සහ මහා විනාශයක් සිදුවනු ඇතැයි ඉරාන උත්තරීතර නායකයා පෙන්වා දී ඇත.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා නගයි. ඒ අනුව ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත. ට්‍රම්ප් පරිපාලනය ඉරානයට අලුතින් සම්බාධක පැනැවීමක් ද කර ඇත.

ඒ, ඊශ්‍රායලයේ උසි ගැන්වීමෙනි. ඊශ්‍රායලය, ලොව එකම යුදෙව් රාජ්‍යයයි. ඉරානය ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. දශක ගණනක් තිස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතරේ දැඩි විරසකයක් පවතී.

පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය අවසන් කිරීමේ අරමුණින් හෙට (6) ඉරාන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජතයන් ඕමානයේ මස්කට් නුවරදී එකිනෙකා හමුවීමට නියමිතය. සාකච්ඡා සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ඕමානයට යවන බව ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත. 

සාධාරණ සහ යුක්තිසහගත ආකාරයට මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නැයි ඉරාන ජනාධිපතිවරයා සිය විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡා සඳහා තුර්කිය, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව යන රටවල් මැදහත්කරුවන් ලෙස කටයුතු කරන බව ද වාර්තා වේ. මේ අතර සාකච්ඡා සඳහා මැදිහත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට ද ඇරැයුම් කර තිබේ.

සාකච්ඡා සඳහා ප්‍රනේශයක් ඇති කර ගැනීමේ අරමුණින් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ යුරේනියම් බල ගැන්වීම සීමා කිරීමටත්, බැලැස්ටික දිගු දුර මිසයිල නිෂ්පාදනය සීමා කිරීමටත් කැමැත්ත පළ කර ඇත.

අරාබි මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවක් සමීපයට පියාසර කරමින් තිබූ ඉරානයට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව ඇමෙරිකන් හමුදාව පැවැසීය.

ඇමෙරිකන් හමුදාව, මෙම ඉරාන ඩ්‍රෝන යානයට පහර දුන්නේ, ඇමෙරිකාවත් ඉරානයත් අතර මත ගැටුම් අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙද්දීය.