IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හිටිගමන් දුම්රිය වර්ජන මගීන් ප්‍රාණ ඇපයට ගැනීමක්


අලු‍ත් අවුරුද්දෙන් පසුව රාජකාරි ඇරැඹුණු මුල් දින දෙකේදීම දුම්රිය මගීන්ට අසුබ අත්දැකීමක් විඳින්නට සිදුවිය. දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු වීම ඊට හේතු වී තිබිණි. දුම්රිය රියැදුරන් හා නියාමකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙසේ දුම්රිය ගමන්වාර අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක සඳහන් විය.

අලු‍ත් අවුරුද්දට පෙර දිනයකද (09) හදිසියේම දුම්රිය රියැදුරෝ සහ නියාමකවරු වැඩවර්ජනයක නිරත වූහ. එම වර්ජනයද එදින පස්වරුවේ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වූ අතර ප්‍රධාන දුම්රිය ස්ථානවල දැඩි නොසන්සුන්තාවක්ද හටගෙන තිබිණි. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එදිනම දුම්රිය වර්ජනය අත්හිටුවීමට කටයුතු කර තිබුණද ඉන්පසුවත් ඇතැම් දුම්රිය ධාවනය වූයේ ප්‍රමාද වී බවට දුම්රිය මගීහු පැමිණිලි කළහ. එම ප්‍රමාදය දුම්රිය මගීන්ට මහත් හිසරදයක් බවට පත්වී තිබූ බවද වාර්තා විය.

දුම්රිය වැඩවර්ජන මීට කාලයකට පෙර සුලබ මාතෘකාවක් බවට පත්ව තිබුණද ආණ්ඩුව මාරුවීමෙන් පසුව ඒ ගැන අසන්නට ලැබුණේ නැත. එහෙත් දැන් යළිත් හදිසියේ සිදුවන දුම්රිය වැඩවර්ජන පිළිබඳ වාර්තා වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා දෙපාර්තමේන්තුව තුළින්ම පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මේ හදිසි වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති මගින් පියවර ගෙන තිබූ බවද දැනගන්නට ලැබිණි.

එහෙත් වැඩවර්ජනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් මගී ජනතාව පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටය. වැඩ ඇරී නිවෙස් බලා යන පිරිස් පමණක් නොව අලු‍ත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යාමට සූදානමින් සිටි ජනතාවද අමාරුවේ වැටී සිටියහ. මෙය කනගාටුදායක සිදුවීමක් බව සඳහන් කළ යුතුය.

තමන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් වැදීමට වෘත්තීය සමිතිවලට තිබෙන අයිතිය පිළිබඳ කිසිවකුත් ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී වුවද අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයක් තිබේ. එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක මූලික අරමුණ විය යුත්තේ මහජනතාව තලා පෙළා දැමීම නොව සමිතියේ ඉල්ලීම් දිනාගැනීමය. ඒ සඳහා මහජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නැත. දුම්රිය මගීන් යනු දුම්රිය වෘත්තීය සමිතිවල ගැටලු‍ විසඳාදීමට හැකියාව ඇති පිරිසක් නොවේ. ඒවා විසඳාගැනීම ආණ්ඩුවක් සමඟ කරන ගනුදෙනුවකි. එහි ඇපකාරයන් බවට දුම්රිය මගීන් පත්කළ යුතු නැත.

දුම්රිය මගීන් යනු මේ රටේ ශ්‍රමදායකයන් බහුතරයකින් සැදුම්ලත් පිරිසක් මිස වරප්‍රසාද සහිත සුවපහසු දිවියක් ගෙවන පිරිසක් නොවේ. උදේ පාන්දර හිරුඑළිය දකින්නත් පෙර දුම්රියට ගොඩවදින බොහෝ මගීන් ආපසු නිවෙස් බලා යන්නේ හොඳටම ඇඳිරි වැටීමෙන් පසුවය. මෙවැනි මගීන්ගේ ගමන් බිමන්වලට හරස් කැපීම අපරාධයකි. එය 

මගීන්ගෙන් පළි ගැනීමකි. දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් දිනාගැනීමට මේ ආකාරයට මගීන්ගේ බඩට ගැසීම අනුමත කළ නොහැකිය.

තවත් අතකින් දුම්රිය මගීන්ට දුම්රිය සේවයෙන් ලැබෙන සේවාව පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක. ඇතැම් කාර්යාල දුම්රිය වෙලාවට ධාවනය වන්නේ නැත. එයින් සිදුවන ප්‍රමාදය බොහෝ මගීන්ට ගැටලු‍ ඇති කරයි. එවැනි තත්ත්වයක් තිබියදී නොකියාම දුම්රිය ධාවනය ඇනහිටුවීම මගීන්ට සිදුකරන මහත් අසාධාරණයකි. 

එසේම ඇතැම් ප්‍රධාන දුම්රිය ස්ථානවලද මගීන්ට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නැත. මැදිරි සංඛ්‍යාව අඩුවෙන් යෙදීම හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රියවල මගීන්ට හැරෙන්නවත් ඉඩක් නැත. තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට මගීන් තලා පෙළා කටයුතු කරන දුම්රිය වෘත්තීය සමිති මේ කරුණු කෙරෙහිද ප්‍රමාණවත් අවධානයක් යොමුකරන්නේ නම් වැදගත් බවද පෙන්වාදීමට කැමැත්තෙමු.

දුම්රිය රියැදුරන් සහ නියාමකයන් පසුගිය දිනවලදී සේවයට වාර්තා නොකළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දැයි කිසිවකුත් නිල වශයෙන් කියා නැත. ඊට කලින් සතියේ හදිසි වැඩවර්ජනය ඇමැතිවරයා සමඟ සාකච්ඡාවකින් අවසන් වුවද සේවයට වාර්තා නොකිරීම පිළිබඳ ගැටලු‍ව දිගටම පැවතුණහොත් එයද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් සැලකිය යුතු වෙයි. එසේ නම් මගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් එම ගැටලු‍ව විසඳාදීමට දුම්රිය බලධාරීන් වහා පියවර ගත යුතුය. එසේ නොවුණහොත් දුම්රිය මගීන්ට නම් අලු‍ත් අවුරුද්ද ලබන්නේම අසුබ නැකතකින් බව අකැමැත්තෙන් වුවද පෙන්වාදීමට අපට සිදුවනු ඇත.

රටක දියුණුව මැනිය හැක්කේ එරටේ තිබෙන පෞද්ගලික වාහන සංඛ්‍යාව අනුව නොව පොදු ගමනාගමන සේවයේ ඉහළ ගුණාත්මකභාවය අනුව යැයි කියමනක් තිබේ. දුම්රිය සේවය මෙරට පොදු ගමනාගමන සේවයේ ප්‍රබල අංශයකි. අලු‍තින් දුම්රිය මැදිරි, එන්ජින් කොතරම් මෙරට දුම්රිය සේවාවට එක්වුණද එහි ගුණාත්මක බව පවතින්නේ පහළ මට්ටමක නම් ඒ ගැන අපට රටක් වශයෙන් සතුටු විය නොහැක. දුම්රිය මගීන්ට වඩා එහි වගකීම පැවරෙන්නේ දුම්රිය රියැදුරන් සහ නියාමකයන් ඇතුළු නිලධාරීන්ට බව සඳහන් කළ යුතුය.
 

(***)



අදහස් (7)

හිටිගමන් දුම්රිය වර්ජන මගීන් ප්‍රාණ ඇපයට ගැනීමක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 April 2021 08:30 AM

මෙතෙක් පැවති හැම රජයක්ම සුදුසු කල් යල් බලා වර්ජනකර බයකර ගැනීමට ස්ට්‍රයික් කාරයන් සමත් වුණා කිව්වොත් එය නිවැරදියි. ඒ උත්සාහය තමයි මේ තවමත් ගෙනියන්නේ.ඇත්තෙන්ම මේ රජයත්, බයකර ගන්න තමයි මේ දඟලන්නේ.වෘත්තීය සමිති වලින් කෙරෙන සේවක අයිතිවාසිකම් දිනාගැනීමට විරුද්ධ නැහැ. ඒත්, ඒකට ජනතාවට හානිකර නොවන කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.මේ අය කරන වැඩෙන් පීඩා විඳින්නේ ජනතාව.එදා දුම්රිය සේවක පිරිසක් ගුටි නොකා බේරුණේ යන්තම්.මේ තත්ත්වය දිගටම ගියොත්,මහජන කෝපය කොහොම කෙළවර වේවිද දාන්නේ නැහැ.ඒ නිසා ස්ට්‍රයික් කරන කට්ටිය හා පක්ෂ ටිකක් කල්පනාකාරී වීම වැදගත්.රජයක් හැටියට මේ ප්‍රශ්නය දෙස බලා,ප්‍රවාහන,රෝහල්,තැපැල් ආදී දේ අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි.ස්ට්‍රයික් කාරයන්ට ජනතාවගේ බොටුවෙන් අල්ලා ගැනීමට ඉඩ නොදිය යුතුයි.ඉල්ලීම් දිනාගැනීමට වඩා හොඳ,ජනතාවට හිරිහැර නොවෙන ක්‍රමවේද ඔවුන් අනුගමනය කළ යුතුයි.

:       0       5

kapila Tuesday, 20 April 2021 10:59 AM

මහජන ඡන්දෙන් පත්වෙන මන්ත්‍රීවරු, ඡන්දෙට පස්සේ දවසේ ඉඳල යන්නේ කෝටි සීයේ වාහනවල. ඒ අයට මේ වර්ජන බලපාන්නේ නැහැ. එත් ඡන්දෙට කතිර ගහපු අය තවමත් යන්නේ කෝච්චියේ දොරේ එල්ලිලා. මේ මිනිසුන්ගේ මොලේ කවදා පෑදේද?

:       0       4

siripalaThursday, 22 April 2021 12:21 AM

ඉවසගෙන ඉන්න දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික අංශය සමඟ එක්ව වැඩ පටන් ගන්නකම්. ජනාධිපතිතුමා පත්කළේ රටට වෙනසක් කරන්න. ජනතවට සහන සලසන්න. එතුමා මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන හොදම අවධානයෙන් ඉන්නේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වුණු හානිය දුම්රියට වෙන්න ජනධිපති තුමා ඉඩ තබන්නේ නැහැ.

:       0       0

Upul Gunaratne Wednesday, 21 April 2021 08:04 AM

කාර්යාල දුම්රිය හැමදාම ප්‍රමාදයි. වෙලාවට යන්නේම නැත .සමහර මගීන්ට ප්‍රයෝජනවත් විදියට ධාවනය වන්නේ නැත.උදා සතියේ දිනවල ධාවනය වන හික්කඩුව දුම්රිය ඉන් එකකි. ගාල්ල ප්‍රධාන නගරය පෙනී පෙනී හික්කඩුවෙන් ගමන අවසාන කරයි. හික්කඩුවෙන් එහා යන මගීන් සීසන් එකටත් ගෙවා බස් එකටත් ගෙවා ගමනාන්තයට ලඟා වීමට සිදු වී ඇත. එයට හේතුව සාගරික දුම්රිය පස්වරු 7 ට ගාල්ලට ලඟා උවත්, එමගින් බොහෝ අයට ගමන් කීරීමට නොහැක. එයට හේතුව කොටුවෙන් මෙහා නවත්වන්නේ රත්මලානේ නිසාය. සමුද්‍රදේවී ගාල්ලට ලඟා වන්නේ බොහෝ විට රෑ 8.15 පසුය . එනිසා කරුණාකර හික්කඩුව දුම්රිය ගාල්ලට ගමන් කරවන්න. එසේ නොහැකි නම් කුඩා දුම්රියක් හික්කඩුව දුම්රියට දිගුවක් ලෙස යොදවන්න. එය බොහෝ මගීන්ට ප්‍රයෝජනවත් වෙවි.

:       0       2

sampath Wednesday, 21 April 2021 02:07 PM

රට ණය කරන ඩොලර් ගිලින තවත් ආර්ථික ඝාතකයෙක්... දුම්රිය කියන්නේ පහසුකම් ඇත්තේ නෑ. වෙලාවට යන්නෙත් නැහැ.. මේ කෝච්චි යකඩ වලට විකුණලා බසු ටිකක් දාමු... මොන නාස්තිකාර ආයතනයක්ද? පාඩු පිට දුවන්නේ... මේ වර්ජන, ගර්ජන, තර්ජන නිසයි සියලු දුම්රිය පුද්ගලික අංශයට ලබාදෙන්නේ...

:       0       0

WCA Saturday, 24 April 2021 01:09 PM

පාලකයන්ට ඉක්මණට මේක විකුණන්න සිත් පහළ වේවා. ඔය විකුණන්න එපා කියන හිපාටුවන්ට මේවාට කටක් අරින්නේ නෑ. හැබැයි විකුණනවා කිව්වොත් රට වටේ පෝස්ටර් ගහනවා වර්ජන කරලා මහජනතාව අමාරුවේ දාන එකට අද වෙනකල් ඉහිලුම් නෑ..

:       0       0

Buruwa Monday, 26 April 2021 02:24 AM

අපිට දැන් නම් හිට්ලර් කෙනෙක් අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 532 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site