IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වියදම් කැපීමේ ආදර්ශය ඉහළින් පෙන්වීමත් ඕනෑ

පළාත්පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් යැයිද ඊට මැදිහත්වීමට අධිකරණයට පවතින හැකියාව ඉතාම අවම යැයිද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයිද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයිද ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව සඳහන් විය.

භාණ්ඩාගාරයේ මුදල් නැතැයි යන්න පාර්ලිමේන්තුවට අදාළ කරුණක් බවද විනිශ්චයකාරවරයා එහිදී පෙන්වා දී තිබිණි. එසේම රටේ ජනතාවට එදිනෙදා මූලික කටයුතුවත් සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණය ඇමතූ අවස්ථාවේ තුරෙයිරාජා විනිශ්චයකාරවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය.

රටේ පවතින ආර්ථික අර්බුදය අඬු විදහාගත් බූවල්ලකු සේ රටේ හැම ක්ෂේත්‍රයකටම බලපෑම් කරමින් සිටින බවට මෙය එක් උදාහරණයක් පමණි. ඡන්දයක් පවත්වා ගත නොහැකි තරමට රටේ ආර්ථිකය කඩාවැටී තිබීම උදම්ඇණිය හැකි කාරණාවක් නොවේ.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිනහවට ලක්විය යුතු කාරණාවක්ද නොවේ. සියලු‍ දෙනා එකතු වී ගොඩ යා යුතු තත්ත්වයකි. ඒ බව වටහාගෙන ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ සියලු‍ මැති ඇමැතිවරුන්ගේ වගකීමය.

ආර්ථිකය ගොඩනැගීමට මූලිකවම බලපාන රජයේ වියදම් අඩු කිරීමේදී වඩාත් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය. මෙහිදී පෙන්වා දිය යුත්තේ රටේ පොදු මහජනතාව නම් මේ වනවිට වියදම් අඩු කිරීම අතින් වාර්තා පිහිටුවා තිබෙන බවය. විදුලි බිල සහ උපයන විට බදු ගෙවීම මේ වාර්තා පිහිටුවීමට ජනතාවට මහත්සේ උපකාරී වී තිබේ.

පසුගිය අගෝස්තුවේදී සියයට 76කින් වැඩි වූ විදුලි බිල පසුගිය 15 වැනිදා සිට තවත් සියයට 66කින් ඉහළ දමන ලදී. විදුලිබල අමාත්‍යංශය පවසන මේ ප්‍රතිශතය සත්‍ය නොවන බවත් අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන ආර්ථික අතින් පහළ මට්ටමේ සිටින ජනතාවගේ මේ වැඩිවීම සියයට 250කටත් අධික බවත් සඳහන්ය. එවැනි ජන කොටසකට තවදුරටත් පටි තද කර ගනිමින් ආර්ථිකය ගොඩනංවා ගැනීමට සහාය වන්නැයි ඉල්ලීම විහිළුවක් පමණි.

උපයන විට බදු අය කිරීමද රටේ වැඩ කරන ජනතාවට මහත් පීඩනයක් ගෙනදෙමින් ඉතා අධික ලෙස වැඩිකර තිබේ. එම ගෙවීම් මේ වනවිටද පඩිපතෙන් කපා ගැනෙයි. මේ පිළිබඳව රටපුරා ප්‍රබල විරෝධයක්ද පැන නැගෙනමින් තිබේ. මේ විරෝධයට හවුල් වන පිරිස් පවසන්නේ තමන් බදු ගෙවීමට අකැමැති බවක් නොවේ. එහෙත් බදු වැඩිකළ යුත්තේ තමන්ට දැරිය හැකි තරමට බව ඔවුහු කියති. ඔවුන් නගන හඬ ආණ්ඩුවට ඇසෙන බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුවද තම වියදම් පාලනය කිරීමට පියවර ගණනාවක්ම ගෙන තිබෙන බව ප්‍රකාශිතය. අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීම වළක්වමින් නිකුත් කළ නියෝගය එවැනි එක් පියවරකි. එහෙත් මේ පියවර දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට යොදාගැනීමෙන් වැළකීම අවශ්‍යය. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විදෙස් ගමන්වල යෙදෙද්දී ව්‍යාපාරික පන්තියේ හෝ පළමු පන්තියේ හෝ ආසන වෙන්කර නොගත යුතු බවටද සීමාවක් පනවා තිබේ. එයද යහපත් පියවරකි.

එහෙත් එම පියවර සාර්ථක වන්නේ නිලධාරීන්ට ක්‍රියාත්මක කෙරෙන මේ නීතිය දේශපාලන බලධාරීන්ටද බලපාන සේ ක්‍රියාත්මක වීමෙන් පමණි. එපමණක් නොව සමස්තයක් වශයෙන් දේශපාලනඥයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් විදෙස් ගමන් පොදුවේ සීමා කිරීමද වැදගත් වනු ඇත. බංකොළොත් වී ඇති රටක් ගොඩගැනීමට නම් මෙවැනි සීමා කිරීම් සියලු‍දෙනාටම බලපාන සේ ක්‍රියාත්මක කිරීම අවශ්‍යමය.

එසේම අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කරන සුපිරි වාහනද සීමා කිරීමත් අඩු වියදම් වාහනවලට මාරුවීමත් සිදුවිය යුතුය. එක් එක් අමාත්‍යවරයකුට වෙන්කරන වාහන සංඛ්‍යාව අනුව ඉන්ධන ලබාදීම ද රටේ මුදල් මකර කටට යවන මාර්ගයකි. මේ සුවපහසු ජීවිතවල රැඳී සිටිමින් රටේ ජනතාව කැප කිරීම් කළ යුතු යැයි කීම පළක් නැත.

මැති ඇමැතින් ගත කරන අධික වියදම් සහිත ජීවන රටාව කැප කිරීමට නොහැකි නම් සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය සේවා කාර්ය මණ්ඩලවල දීමනා සියයට 15කින් කපා දැමීමෙන් පළක් නැත. අවවාද, නියෝගවලට වඩා ආණ්ඩුවේ බලධාරීන්ගේ ආදර්ශය වඩාත් වැදගත් බැවිනි.

(***)



අදහස් (0)

වියදම් කැපීමේ ආදර්ශය ඉහළින් පෙන්වීමත් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site